lawyer-police-clash-escalates-in-mount-lavinia

 ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ ඔහුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න ‍වන්නිනායක  අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහුගේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් තිබේ. කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පොලිසිය එහි යන විට අදාළ නීතිඥවරයා නිවසේ සිට නොමැති බවයි.



මෙම තත්ත්වය පසුගිය සිකුරාදා ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් ඉවත් කිරීමේදී ඇතිවූ සිදුවීමක් හා සම්බන්ධ වේ. එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් නීතිඥවරයෙකුට පහර දුන් බවට චෝදනාවක් එල්ල වූ අතර, එම චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඔක්තෝබර් 10 වන දින අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ඔහුව අද (ඔක්. 13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.




පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ මඬුල්ල අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු පිරිසක් මෝටර් රථයෙන් පිටව යෑමට සූදානම් වීමේදී, බන්ධනාගාර බස් රථයකට ඉඩ දෙන ලෙස දොරටුව අසල සිටි කොස්තාපල්වරයා උපදෙස් දීමත් සමග තත්ත්වය උණුසුම් වූ බවය. එහිදී කොස්තාපල්වරයා ජ්‍යෙෂ්ඨ නීතිඥ වන්නිනායක මහතාගේ මුහුණ දෙසට අත දිගු කළ අවස්ථාවේ, රථයේ සිටි අනෙක් නීතිඥවරයා එම අත තල්ලු කර ඇති අතර, වහාම කොස්තාපල්වරයා අදාළ නීතිඥවරයාගේ මුහුණට පහර දුන් බවට නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත්, සැකකාර කොස්තාපල්වරයා අධිකරණයට දන්වා සිටියේ තමන් කිසිදු පහරදීමක් නොකළ බවය. මේ අතර, පොලිසිය ප්‍රකාශ කළේ අදාළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවලද හුවමාරු වූ බවත්, එම දර්ශන ඇතුළත් සී.ඩී. තැටියක් නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කර ඇති බවත්ය. මෙම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති පොලිසිය, බන්ධනාගාර බස් රථයේ සවිකර තිබූ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීම සඳහා ඊයේ (ඔක්. 12) ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මියගෙන් අවසර ලබාගෙන ඇත.




ශ්‍රී ලංකා නීතිඥ සංගමයද නිවේදනයක් නිකුත් කරමින්, අධිකරණ පරිශ්‍රයක් තුළදී නීතිඥවරයෙකුට පොලිස් නිලධාරියෙකු පහර දීම පිළිබඳ සිය දැඩි කණස්සල්ල පළ කර තිබේ. මෙම ක්‍රියාව හෙළා දකින බවත්, පොලිසිය විසින් බලය අනිසි ලෙස භාවිතා කිරීමට විරුද්ධ වන බවත් පවසන එම සංගමය, මෙවැනි දේ නැවත සිදු නොවීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

කෙසේවෙතත්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම සිදුවීමේදී නීතිඥවරයාගේ හැසිරීම දැඩිව විවේචනය කළේය. එම අශෝභන හැසිරීම අධිකරණයට කළ අපහාසයක් බව පැවසූ අමාත්‍යවරයා, රාජකාරියට බාධා කළ නීතිඥවරයාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවත්, නීතියට ඉහළින් කිසිවෙකු නොමැති බවත් අවධාරණය කළේය. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරියාට අගතියක් වුවහොත් පොලිස් දෙපාර්තමේන්තුව ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන බවට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහතික වී තිබේ. අදාළ අධිකරණ කටයුත්ත අද (ඔක්. 13) නැවත කැඳවීමට නියමිත අතර, ඒ සඳහා නීතිපතිවරයාගේ මැදිහත්වීම මත රජයේ නීතිඥවරයෙකුද පෙනී සිටීමට නියමිත බව පොලිස්පතිවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සිය නිවේදනයෙන් දන්වා සිටියේ, මෙම සිදුවීමට අදාළව එම නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිදු දුරකථන සංවාදයක් සිදුව නොමැති බවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨසය නිකුත්කළ නිවේදනය,

2025.10.10 වන දින උදෑසන කාලයේ ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුලදී රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හට නීතිඥවරයෙකු විසින් යම් සිදුවීමක් මුල්කරගෙන පරුෂ වචනයෙන් බැණ වදිමින් සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධියට අදාල වීඩියෝ දර්ශන නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ද ප්‍රකාශ සටහන් කර මෙම සිදුවීම සම්බන්ධව තවදුරටත් ගල්කිස්ස මූලස්ථාන පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මෙම සිදුවීම සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයේ සිද්ධියට සම්බන්ධ නීතීඥවරයා විසින් එම අවස්ථාවේදී දුරකථනය හරහා පොලිස්පතිතුමා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගන්නා බවට ඒත්තු ගැන්වෙන ආකාරයට එම අවස්ථාවේ ඔහු විසින් “ප්‍රියන්ත මගේ ජූනියර් බැජ් එකේ…” “ප්‍රියන්තට කියන්න ගල්කිස්ස උසාවිය ඇතුළෙදී …..” “ප්‍රියන්තට කියන්න මට ගන්න කියන්න. නැත්තම් ප්‍රියන්තගේ නම්බරේ දෙන්න….” යනුවෙන් එම වීඩියෝ පට දර්ශන මඟින් දක්නට ඇත.



එමඟින් මෙම නීතිඥ මහතා විසින් පොලිස්පතිවරයා සෘජුවම අමතා මෙම සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට වැරදි මතයක් සමාජ ගත වෙමින් පවතී. නමුත් මෙම සිදුවීමට අදාලව එම නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිඳු දුරකථන සංවාදයක් සිදුවී නොමැත.

මෙම සිද්ධිය පොලිස්පතිවරයා දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිඳු විටක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිතුමා විසින් නියෝගයක් ලබාදී නොමැත.

නමුත් පොලිස්පතිතුමන් විසින් ඉහත නිලධාරින් අමතන විටත් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

එයට හේතුව වූයේ මෙම සිදුවීමත් සමඟ ගල්කිස්ස අධිකරණ භූමියේ යම් නොසන්සුන්තාවයක් ඇති වී ඇති අතර ඒ හේතුවෙන් අධිකරණයේ කටයුතු වලටද බාධා සිදුවී ඇත. එමෙන්ම මෙම සිදුවීම පාදක කරගෙන අධිකරණයේ කටයුතුවල නිරත නීතිඥවරුන්ගේද යම් විරෝධයක් පවත්වා ඇත. එම අවස්ථාවේ දී ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරියා කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හට නියෝග කර තිබීම හේතුවෙනි.

ඉහත සිදුවීමේදී පොලිස් නිලධාරීන් කටයුතු කල ආකාරය සම්බන්ධව පොලිස් විමර්ශනයක් සිදුකිරීම සඳහා පොලිස්පතිතුමාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් ද වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


gossiplanka image 2