පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් ඊ-සිගරට් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ මවකට සහ ඇගේ දාහත් හැවිරිදි පුත්‍රයෙකුට චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් දෙලක්ෂ අසූදහසක දඩ මුදලක් ගෙවන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියෝග කළේය.
දොරටියාව පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, කුරුණෑගල නගරය හා ඒ අවට පාසල් සිසුන්ට ඊ-සිගරට් අලෙවි කරන බවට ලද තොරතුරක් මත දොරටියාව, ග්‍රීන්ගාඩ්න් වත්ත නිවාස යෝජනා ක්‍රමයේ පිහිටි ඔවුන්ගේ නිවස පරීක්ෂා කිරීමේදී
විදෙස් රටක සිට රැගෙන ආ ඊ-සිගරට් 98ක් සහ සාමාන්‍ය සිගරට් 1800ක් සොයාගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
මෑතකදී මැදපෙරදිග සේවය කර පැමිණි සැකකාරිය, කුරුණෑගල ප්‍රධාන පාසලකින් උසස් අධ්‍යාපනය නිමකළ සිය පුත්‍රයා යොදාගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බව පොලීසිය පැවසීය. ඊ-සිගරට්ටුවකින් එක් දුම් වාරයක් ලබාගැනීම සඳහා රුපියල් 500ක මුදලක් අය කරමින් සැකකාරිය සිය පුතු හරහා සිසුන්ව ඊට පොළඹවාගෙන ඇති බවටද අධිකරණයේදී කරුණු ඉදිරිපත් විය.
සැකකාරිය සහ ඇගේ පුත්‍රයා යන දෙදෙනාටම එක් අයෙකුට රුපියල් එක්ලක්ෂ හතළිස් දහස බැගින් දඩ නියම කෙරිණි. ඊ-සිගරට් සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට නඩුවක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. දොරටියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval