kataragama-g-rajapaksa-is-not-me-gota-says

 කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට, පවත්වාගෙන යාමට හෝ තමන් කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැති බවත්, තමාට එබඳු අවශ්‍යතාවක්ද කිසිදිනක නොතිබූ බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.



හිටපු ජනාධිපතිවරයාට අයත් යැයි කියවෙන, කතරගම මැණික් ගඟ ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක් රජයේ භාරයට ගත් බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගිණුම ඔස්සේ පැහැදිලි කිරීමක් කරමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.




තම නම සම්බන්ධ කරමින් මෙම ගොඩනැගිල්ල පිළිබඳව වරින් වර ජනමාධ්‍ය වාර්තා පළවන බව නිරීක්ෂණය වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, 2025 ඔක්තෝබර් 13 වැනි සඳුදා දිනද ඇතැම් රූපවාහිනී නාලිකා අදාළ ගොඩනැගිල්ල පිළිබඳ පුවතකදී නැවත වරක් සිය නම සඳහන් කර තිබූ බව කියා සිටී.

අන් අයෙකු විසින් ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව පසුගිය කාලසීමාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක්ද සිදු කළ බවත්, ඊට අදාළව තමන්ද ප්‍රකාශයක් ලබා දුන් බවත් හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.

එම පරීක්ෂණයේදී තමාගෙන් මේ පිළිබඳව විමසීමට එකම හේතුව වී ඇත්තේ, අදාළ ගොඩනැගිල්ල සඳහා විදුලි සබඳතාවක් ලබා ගැනීමට "ජී. රාජපක්ෂ" නමැත්තෙකුගේ නමින් ඉදිරිපත් කර තිබූ අයදුම්පතක් බවද ඒ මහතා සඳහන් කරයි. කෙසේ වෙතත්, එම අයදුම්පතේ නිසි අත්සනක් යොදා නොතිබූ අතර, අත්සන යෙදිය යුතු ස්ථානයේ තිබී ඇත්තේ අපැහැදිලි කුරුටු ගෑ සටහනක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

මෙම සාවද්‍ය පුවත නැවත නැවතත් මතු වන හෙයින්, කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි එකී ගොඩනැගිල්ල තමාට අයත් දේපළක් නොවන බවට තමන් තරයේ ප්‍රකාශ කරන බවත්, කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් තමාට කිසිදු හේතුවක් හෝ උවමනාවක් කිසිදා නොතිබූ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත.

මේ කතාව අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තු ඉඩමේ ගෙයක් හැදූ අයෙකු හඳුනාගන්නට නොහැකි අතර එය ඉබේ පහළවූවක් විය හැකිය. මල්වානේ පිහිටි බැසිල් රාජපක්සගේ නමට ඈඳුණ ගොඩනැගිල්ලට තිබුනේද මෙවැනි කතාවකි.

කෙසේ වෙතත් කොලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය මගින් මෙම ඉඩමේ ජල බිලක් ප්‍රසිද්ධියට පත්කර තිබෙන අතර එහි Gotabaya Rajapaksa නම පැහැදිලිව සටහන්ව තිබේ.





gossiplanka image 1