
කළුතර දකුණ පොලිස් ස්ථානයේ හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු විසින් පාතාල සාමාජිකයෙකු වෙත ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් ලබා දීමේ බරපතල සිදුවීමක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වී තිබේ. පසුගිය ඔක්තෝබර් 17 වන දින විශේෂ කාර්ය බලකාය මගින් කළුතර, නාගොඩ ප්‍රදේශයේදී රුසිර කවිසාන් එදිරිසිංහ හෙවත් 'ජපනා' නමැති සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ගිනි අවි සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාව මතය.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, වායු පිස්තෝලයක්, ක්‍රීඩා පිස්තෝලයක්, ෂොට්ගන් ගිනි අවියක ක්‍රියාකාරී කොටසක්, අත් විලංගුවක් මෙන්ම මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 51ක්, පොයින්ට් 38 වර්ගයේ ජීව උණ්ඩ 16ක් සහ බෝර 12 උණ්ඩ 11ක් සොයාගෙන ඇත.
කළුතර දකුණ පොලිසිය වෙත භාර දීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී, 'ජපනා' නමැති සැකකරු ප්‍රකාශ කර ඇත්තේ අදාළ ගිනි අවි සහ උණ්ඩ තොගය තමන්ට ලබා දුන්නේ කළුතර දකුණ පොලිසියේ හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ විසින් බවය. සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඔහු අදාළ පොලිස් නිලධාරියා සමග සමීපව සිටින ඡායාරූප සහ එම නිලධාරියාගේ රාජකාරී ගිනි අවිය ඉනේ ගසාගෙන සිටින ඡායාරූප පවා හමුවී තිබේ.
මෙම හෙළිදරව්වත් සමග කළුතර දකුණ පොලිසියේ නව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතා විසින් සිදුකළ විමර්ශනයේදී, පොලිස් ගබඩා පාලක සැරයන්වරයාගෙන් ප්‍රශ්න කර ඇත. එහිදී ඔහු පිළිගෙන ඇත්තේ, හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් "නැවත ගෙනැවිත් දෙන" බව පවසමින් අදාළ ගිනි අවිය ගබඩාවෙන් ඉල්ලාගෙන ගිය බවය. 2002 වසරේදී අධිකරණ නියෝගයක් මගින් පොලිස් ගබඩාවට භාරදී තිබූ මෙම ගිනි අවිය සම්බන්ධයෙන් 2012 වසරෙන් පසු කිසිදු සටහනක් පොලිස් ලේඛනවල නොමැති බවද අනාවරණය වී තිබේ.
'ජපනා' විසින් ලබා දී ඇති බී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, තවත් පොලිස් නිලධාරියෙකුගේද සහාය ඇතිව, අදාළ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට ගොස් මෙම ගිනි අවි සහ උණ්ඩ රැගෙන ආ බවය. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබන හිටපු පොලිස් නිලධාරියා රත්නපුර ප්‍රදේශයට මාරු කර යවා ඇති අතර, ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලා ගොනුකළ පෙත්සමක්ද ප්‍රතික්ෂේප වී ඇත. කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණ ක්‍රියාත්මක අතර, අදාළ නිලධාරියාට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval