jana-sutta-lodges-complaint-against-tiran-alles-offshore-deal

 හිටපු අමාත්‍යවරයෙකු වන ටිරාන් අලස් මහතා විසින් සිදුකරන ලදැයි කියන නීති විරෝධී අක්වෙරළ ආයෝජන සම්බන්ධයෙන් ජන අරගල සන්ධානය විසින් අද (14) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දෙනු ලැබිණි.



එම පැමිණිල්ල මගින් චෝදනා නගා ඇත්තේ, හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ විනිමය පනතේ ප්‍රතිපාදන කඩ කරමින් බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හි පිහිටි සමාගම් දෙකක මහා පරිමාණ ආයෝජන සිදුකර ඇති බවය. Banham Ventures Limited ආයතනයේ බ්‍රිතාන්‍ය පවුම් 1,550,000 ක් සහ Bromption Properties නැමැති ආයතනයේ බ්‍රිතාන්‍ය පවුම් 1,400,100 ක් මෙලෙස ආයෝජනය කර ඇති බවට එමගින් පෙන්වා දී තිබේ.




මෙම අවස්ථාවට එක්වෙමින් ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කළේ, 2023 වසරේදී ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය (ICIJ) විසින් 'පැන්ඩෝරා පත්‍රිකා' හරහා ද මෙම ගනුදෙනු පිළිබඳ තොරතුරු හෙළිදරව් කර තිබූ බවයි.

දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, ටිරාන් අලස් මහතා අමාත්‍ය ධුරය දරණ සමයේ ඉදිරිපත් කළ නිල වත්කම් බැරකම් ප්‍රකාශයන්හි මෙම අක්වෙරළ වත්කම් පිළිබඳ තොරතුරු අන්තර්ගත නොවන්නේ නම්, එය බරපතල නීතිමය තත්වයක් වන අතර ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවීමට හැකි බවය. අවශ්‍ය වුවහොත් මෙම කරුණු තහවුරු කරගැනීම සඳහා ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදයෙන් නිල වශයෙන් විමසීමක් කළ හැකි බවද ඔහු සඳහන් කළේය.




රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ මෙවැනි නීති විරෝධී අක්වෙරළ ආයෝජන පිළිබඳ විමර්ශනය කිරීමේ ආරම්භයක් ලෙස මෙම පැමිණිල්ලට හදිසි අවධානයක් යොමු කළ යුතු බව ජන අරගල සන්ධානය අවධාරණය කරයි. ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රචාරක වේදිකාවේදී මෙම චෝදනා සම්බන්ධයෙන් හඬ නැගූ බැවින්, නව ආණ්ඩුව යටතේ මෙම විමර්ශන කටයුතු කඩිනම් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද එම සන්ධානය වැඩිදුරටත් කියා සිටියේය.