instead-of-giving-away-free-shopping-bags-a-fee-will-be-charged-to-reduce-the-number-of-shopping-bags

 පරිසරයට හානිකර පොලිතින් සහ ෂොපිං බෑග් භාවිතය අවම කිරීමේ අරමුණින්, එළඹෙන නොවැම්බර් මස පළමුවැනිදා සිට ඒවා සඳහා පාරිභෝගිකයින්ගෙන් මුදලක් අය කිරීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පරිසර අමාත්‍යාංශය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.





පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා (01) සලකා බැලූ අවස්ථාවේදී පරිසර අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය මෙම දැනුම්දීම සිදු කළාය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.

පොලිතින් සහ ෂොපිං බෑග් භාවිතය අධෛර්යමත් කිරීම සඳහා ඒ මත බද්දක් පනවන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මීට පෙර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබූ අතර, එවැනි බද්දක් අය කරන බවට පරිසර අමාත්‍යාංශය අධිකරණයට පොරොන්දුවක් ලබා දී තිබිණි. එම පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ මෝසමක් අනුව පෙත්සම මෙලෙස නැවත කැඳවා තිබුණි.



පෙත්සම කැඳවූ අවස්ථාවේදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ, ආචාර්ය රවින්දනාත් දාබරේ මහතා පෙන්වා දුන්නේ, අධිකරණයේදී ඇති කරගත් එකඟතාව පරිදි පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු නොකිරීම නිසා පොලිතින් මගින් සිදුවන පාරිසරික හානිය තවදුරටත් සිදුවෙමින් පවතින බවය.

ඊට ප්‍රතිචාර වශයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ නොවැම්බර් මස පළමුවැනිදා සිට ෂොපිං බෑග් සඳහා මුදලක් අය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නා බවත්ය. එම දැනුම්දීම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය එකඟතාව පළ කළ අතර, ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමේ අයිතිය තබා ගනිමින් පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීරණය කළේය.