immediately-withdraw-from-the-drug-network-or-we-will-remove-you-president

 මත්ද්‍රව්‍ය ජවාරමට එරෙහිව සෘජුව හැපෙන්නට සිය රජය තීරණාත්මකව පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන 'රටම එකට' ජාතික මෙහෙයුම ආරම්භ කිරීමේ අවස්ථාවට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී (30) දින එක්වෙමින් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.



මෙම ව්‍යසනය 'මායාකාරී' එකක් බවත්, එය දශක ගණනාවක් තිස්සේ ක්‍රමිකව වර්ධනය වෙමින් අද වන විට මුළු සමාජ දේහයම ගිල ගන්නා තත්ත්වයකට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අපේ දරු පරම්පරාව සහ පොදු සමාජය මෙම ගැඹුරු හා විනාශකාරී උවදුරේ ගොදුරු බවට පත්ව ඇති බවත්, පාසල් දරුවන්ගේ සහ තරුණ ප්‍රජාවගේ ජීවිත අවදානමට ලක් කරමින් මෙය ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති බවත් ඔහු අවධාරණය කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගනිමින් තවත් බොහෝ අපරාධ සිදුවන බවටද නිරීක්ෂණය වී ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.




මෙම මංසන්ධියේදී තෝරා ගැනීමට ඇත්තේ මාර්ග දෙකක් පමණක් බව පැවසූ ඒ මහතා, එක් මාවතක් නම් පැරණි ක්‍රමයටම මෙම විනාශය සිදුවීමට ඉඩ හැර බලා සිටීම බවත්, දෙවැන්න මීට එරෙහිව සෘජුව හැපීම බවත් කියා සිටියේය. ඉන් දෙවන මාවත තෝරා ගැනීමට තමාත්, තම ආණ්ඩුවත් තීරණාත්මක තීන්දුවක් ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට නම් පොලීසිය 'සුද්ද' කළ යුතු බවට ජනතාව අතර මතයක් පවතින බවත්, එය සත්‍යයක් බවත් පිළිගත් ජනාධිපතිවරයා, මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී සිටින පොලිස් නිලධාරීන්ට වහාම එම ජාලයෙන් ඉවත් වන ලෙසට දැඩිව අවවාද කළේය. "වහාම මේ කාර්යයෙන් ඉවත් වෙනු. නැත්නම් අපි ඉවත් කරනවා" යැයි පැවසූ ඒ මහතා, එම අනතුරු ඇඟවීම මත්ද්‍රව්‍ය ජාවාරමට පහසුකම් සපයන අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරීන්ටද එකසේ අදාළ බව අවධාරණය කළේය.

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන්ම ඊට ඇබ්බැහි වූවන්ටද වහාම එයින් ඉවත් වන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා, මත්ද්‍රව්‍යවලට එරෙහිව පුළුල්ම මහජන ව්‍යාපාරය ගොඩනගමින් අනාගත පරපුර සහ සමාජය මෙම උවදුරෙන් ගලවා ගන්නා බවට ප්‍රතිඥා දුන්නේය. 'රටම එකට' ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීමේදී අත්අඩංගුවට ගැනීම, පුනරුත්ථාපනය, නිවාරණය සහ මහජන තෙරපුම මෙන්ම ආගම, ක්‍රීඩාව, කලාව හා සංස්කෘතිය වැනි බහුවිධ ක්ෂේත්‍ර ඔස්සේ එය ක්‍රියාත්මක කරන බවද පැවසූ ඒ මහතා, මෙම ජාතික කාර්යභාරය සඳහා එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කර සිටියේය.
ඡායාරූප එකතුව මෙතැනින් Click here

gossiplanka image 1