four-year-old-girl-dies-after-swimming-lesson-in-deep-pool

 ජීවිතාරක්ෂකයෙකු නොමැතිව ගැඹුර වැඩි පෞද්ගලික පිහිනුම් තටාකයක පැවති පිහිනුම් පාඩමක් අතරතුර සිව් හැවිරිදි දැරියක් දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස මියයාමේ සිදුවීමක් තුර්කි මාධ්‍ය උපුටමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



තුර්කියේ, බර්සා පළාතේ ඉනෙගොල් හි සුලෙයිමනියේ ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක පිහිනුම් තටාකයේ මෙම දැරිය නිසලව පාවෙමින් සිටිනු අගෝස්තු 12 වන දින දැක ඇත. බේරා ඩිසී ලෙස හඳුනාගත් මෙම දැරිය සිද්ධිය වූ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි හෙදියක විසින් ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව ගිලන් රථ සේවකයින් විසින් රෝහල් ගත කර තිබේ.



දින හතක් පුරා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ ඇය, අවසානයේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ බේරා දැරිය පිහිනමින් සිටි තටාකය කුඩා දරුවන්ට පාඩම් පැවැත්වීමට නුසුදුසු මට්ටමේ ගැඹුරකින් යුක්ත වූ බවයි. එම අවස්ථාවේදී සහතික ලත් ජීවිතාරක්ෂකයෙකු සේවයේ නොසිටි බවත්, පිහිනුම් උපදේශකවරයා දරුවන් සමඟ තටාකය තුළ නොසිටි බවත් විමර්ශන මගින් වැඩිදුරටත් සොයාගෙන ඇත.

කෙසේ වෙතත්, පෙර පාසල් බලධාරීන් කියා සිටියේ දැරිය පිහිනමින් සිටියදී අපස්මාර රෝගී තත්ත්වයක් වැළඳී ඇති බවත්, ඇයගේ මරණයට හේතුව නොසැලකිලිමත්කම නොව එම රෝගී තත්ත්වය බවත්ය. නමුත් දැරියගේ මව විමර්ශකයින්ට පවසා ඇත්තේ තම දියණිය මීට පෙර දෙවරක් එවැනි රෝගී තත්ත්වයකට මුහුණ දී තිබුණද, පසුගිය වසර දෙකක කාලය පුරා ඇයට කිසිදු රෝගී තත්ත්වයක් ඇති නොවූ බවත් වෛද්‍ය නිර්දේශ මත ඖෂධ ලබා දීමද නවත්වා තිබූ බවත්ය.

විමර්ශකයින් විසින් මෙම සිදුවීමේ ප්‍රධාන වගකීම පෙර පාසලේ ක්‍රියාකරු වෙත පවරා ඇති අතර, පිහිනුම් ගුරුවරයා දෙවනුව වගකිව යුතු බවට තීරණය කර තිබේ. කෙසේ නමුත්, දැරියගේ දෙමාපියන්ටද ප්‍රධාන වගකීම පැවරී ඇති බවට නම් කර තිබීම අතිශයින් අසාධාරණ චෝදනාවක් බව ඔවුන් ප්‍රකාශ කර ඇත. එම දිනයේ තම දරුවන්ට අත්වල පලඳින පාවෙන ආවරණ රැගෙන නොඑන ලෙස පාසලෙන් දැනුම් දුන් බවත්, ආරක්ෂක නීති නිසි ලෙස පිළිපැද්දේ නම් තම දියණිය තවමත් ජීවතුන් අතර සිටිනු ඇති බවත් බේරාගේ මව  ප්‍රකාශ කර තිබේ.
(ඩේලි මේල් ඇසුරිනි)



gossiplanka image 2


gossiplanka image 3