director-of-education-under-house-arrest-after-receiving-letter-requesting-principal-transfer

 කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ වැඩබලන විදුහල්පතිවරයා වෙත ස්ථාන මාරුවක් ලබාදීමට අදාළ ලිපිය භාරදීම සඳහා එම විද්‍යාලයට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.එච්.එන්. දුලාංජලී මහත්මිය පැයකට ආසන්න කාලයක් සිරකර තැබීමේ සිදුවීමක් ඊයේ (01) පස්වරුවේ වාර්තා විය. විදුහල්පතිවරයාට එරෙහිව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම ස්ථාන මාරුව ලබාදී තිබිණි.



පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයින් යැයි හඳුන්වාගත් පිරිසක් විසින් විද්‍යාලයේ ප්‍රධාන දොරටුවට ඉබියතුරු දමා අධ්‍යක්ෂවරියට පිටව යෑමට නොහැකි වන සේ අවහිර කර ඇති අතර, එම අවස්ථාවේදී ගුරුවරුන් පිරිසක්ද ඔවුන්ට සහය පළ කරමින් විදුහල් භූමියේ රැඳී සිට ඇත. මෙම සිදුවීමත් සමග සිය නිල රථය තුළම රැඳී සිටීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට සිදුව තිබේ.



මෙම සිදුවීම සැලවීමත් සමග පාසල වෙත පැමිණි මවුපියන් පිරිසක්, විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලැබී ඇත්නම් එය භාරගෙන ඉවත්ව යන ලෙස ඉල්ලමින් විද්‍යාලයේ ප්‍රධාන දොරටුවෙන් පිටත විරෝධතාවක නිරත විය. තාවකාලික වැඩබලන විදුහල්පති එස්.කේ. සමරනායක මහතා නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට මෙම ලිපිය මගින් නියම කර තිබිණි.



උද්ගත වූ නොසන්සුන්කාරී තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.එම්. සංජීව බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් එම ස්ථානයට පැමිණ තිබේ. පොලිස් නිලධාරීන් මැදිහත් වී විද්‍යාලයේ ප්‍රධාන දොරටුව විවෘත කර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට ඉන් පිටව යෑම සඳහා ආරක්ෂාව සලසන ලදී.

ඉකුත් 30 වැනිදා කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් මඩකළපුව ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබිණි. එම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව විදුහල්පතිවරයාට මෙම ස්ථාන මාරුව ලබාදීමට බලධාරීන් පියවර ගෙන ඇත.