ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන කටයුතු භාර තනතුරෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාව නිල වශයෙන් ඉවත් කිරීමට පොලිස් කොමිසම සිය අනුමැතිය ලබාදී තිබේ. පොලිස්පතිවරයාගේ ලිඛිත ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ රාජකාරි වගකීම මධ්‍යම පළාත භාර කටයුතුවලට පමණක් සීමා වනු ඇත.
මේ හා සමගාමීව, ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ නම වාර්තා වේ.
එමෙන්ම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා මෙතෙක් දැරූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා, සජීව මැදවත්ත මහතාව පත්කිරීමට නියමිත බවට ද තොරතුරු පළ වේ.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිසියේ පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට සහ මාධ්‍යවේදී බිමල් රුහුණගේට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත්තේ, නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා සහ මාධ්‍යවේදී බිමල් රුහුණගේ අතර ඇති වූ බව කියන පෞද්ගලික දුරකථන සංවාදයක හඬපටයක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.
පොලිස්පතිවරයා පවසන්නේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා තමන් ඇතුළු උසස් නිලධාරීන් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍යට මුදාහැරීම සහ පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපිගොනු බාහිර පාර්ශ්වයන් වෙත ලබාදී ඇති බවට අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මාරු කර යවමින් විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් සිදුකර තිබුණි.
කෙසේවෙතත් මෙම හඬපටයෙහි, අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු බවට පවසන පුද්ගලයෙකු සමඟින් පොලිස්පතිවරයා සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර “පොලිස්පතිවරයෙක් නෙවෙයි මෙයා දූෂිතයෙක්” යනුවෙන් පවසන අයුරු හඬපටයෙහි අන්තර්ගතව තිබෙන බව වාර්තා වේ.
එලෙස ව්‍යාජ පුවත් නිර්මාණය කරන බවට පැවසෙන හඬපටය පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණා. කෙසේවෙතත් හඬපටය පිළිබඳව තවමත් නිල වශයෙන් තහවුරු වී නැත.
ඒ අනුව රජයට එරෙහි අසත්‍ය පුවත් නිර්මාණය කොට ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසද පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළා. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval