cid-arrives-with-manushas-wife-due-to-illegal-money-in-bank-accounts

අයථා ලෙස දේපළ උපයාගත් බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන්, කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ඔහුගේ බිරිඳ ඊයේ (22) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඔවුන් දෙපළගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ගවලට අනුව,


හිටපු අමාත්‍යවරයා සහ බිරිඳ ඊයේ (22) දින පෙරවරු 9.30 ට පමණ අදාළ කොට්ඨාසය හමුවේ පෙනී සිට ඇති අතර, ප්‍රකාශ ලබා දීමෙන් පසුව පස්වරු 12.30 ට පමණ ඔවුන් පිටව ගොස් තිබේ.

මෙම විමර්ශනයේදී මනූෂ නානායක්කාර මහතාගේ මෙන්ම ඔහුගේ බිරිඳගේ ද බැංකු ගිණුම්වලට ලැබී ඇති බව කියන විශාල මුදල් ප්‍රමාණයන් සම්බන්ධයෙන් නිලධාරීන් විසින් ප්‍රශ්න කර ඇති බවට වාර්තා වේ.

මීට දින කිහිපයකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මනූෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, පසුව ඔහු ඇප මත මුදා හරින ලදී.




අපරාධ පරීක්ෂණ හා මූල්‍ය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් මත, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රුවන් කාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.