
කටුනායක පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු බීමතින් පැමිණ, සිය සේවා ගිනි අවියෙන් පහර දී කප්පම් ඉල්ලා තර්ජනය කිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පුද්ගලයන් දෙදෙනෙකු ගොනු කළ පෙත්සමක තීන්දුව පසුව ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගත් අතර, එහි තීන්දුව මෙසේ කල් තබන ලදී. වග ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කුමාර කරුණාරත්න සහ පී. ජයසෝම යන අය විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස කටුනායක පොලිසියේ කොස්තාපල් ප්‍රියන්ත බණ්ඩාර අතපත්තු ඇතුළු දෙදෙනෙකු නම් කර තිබිණි.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන පරිදි, 2019 වසරේ පෙබරවාරි 10 වන දින මිනුවන්ගොඩ මංසන්ධියේදී බීමතින් පැමිණි වගඋත්තරකාර පොලිස් නිලධාරියා, පළමු පෙත්සම්කරුගේ හිසට සිය සේවා පිස්තෝලයෙන් පහර දී රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ඉල්ලා ඇත. එම මුදල නොදුනහොත් මරා දමන බවට ඔහු තර්ජනය කර ඇති බවද පෙත්සමේ වැඩිදුරටත් දැක්වේ.
මෙම සිදුවීමට මැදිහත් වූ පළමු පෙත්සම්කරුගේ මාමා වන දෙවැනි පෙත්සම්කරුටද පහර දුන් අදාළ පොලිස් නිලධාරියා, ඔහුගෙන් රුපියල් ලක්ෂ පහක කප්පමක් ඉල්ලා ඇති බව සඳහන් වේ. ප්‍රහාරයෙන් පසු රෝහල් ගතව ප්‍රතිකාර ලබාගත් පෙත්සම්කරුවන්, සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසියට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත. මෙම ක්‍රියාව තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දුවක් ලබා දී ඊට සරිලන වන්දියක් අත්කර දෙන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
Comments
Post a Comment
Your comment will be visible after approval