court-orders-to-send-piumis-lolia-cream-to-the-analyst

 කෙටි කලකින් අතිවිශාල ධනයක් උපයා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවට චෝදනා එල්ල වී ඇති නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට අයත් ‘ලෝලියා ස්කින් සමාගම’ මගින් අලෙවි කරනු ලබන රූපලාවණ්‍ය ආලේපනවල ප්‍රමිතිය පිළිබඳව රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා (14) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අදාළ ක්‍රීම් වර්ග අධිකරණයට ඉදිරිපත් කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී.


පියුමි හංසමාලි නීති විරෝධී ලෙස වත්කම් උපයා ඇති බවට ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මහතා අධිකරණයට කරුණු දක්වමින්, සම පැහැපත් කිරීම සඳහා භාවිත කරන මෙම ආලේපන මිනිස් පරිභෝජනයට සුදුසු ද යන්න විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.




කොළඹ හිල්ටන් රෙසිඩන්සි හි පදිංචිව සිටින පියුමි හංසමාලි විසින් බැංකු ගිණුම් 19ක් පවත්වාගෙන යාම, හිටපු ජනාධිපතිවරයෙකු භාවිත කළ රුපියල් කෝටි 08ක් වටිනා රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක් සහ කොළඹ 07 ප්‍රදේශයෙන් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම ඇතුළු ගනුදෙනු රැසක් පිළිබඳව මෙම විමර්ශනයේදී අවධානය යොමු වී ඇත.

2006 අංක 6 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම විමර්ශන කටයුතු සිදු කරන බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙසට වැඩිදුරටත් නියෝග කළේය.