driver-who-killed-lawyer-over-breakup-granted-bail-after-a-year

රියදුරු ලෙස කටයුතු කරමින් සිටියදී තමා සමග පැවති අනියම් සබඳතාවක් නවතා දැමීම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, 36 හැවිරිදි එක්දරු මවක වූ නීතිඥවරියක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු දැඩි කොන්දේසි මත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (27දා) නියෝග කළේය.



කිරින්ද, පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි ජයනාත් ධීරසිංහ නමැති මෙම සැකකරු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් මත මෙලෙස මුදා හැරිණි.


එම ඇපකරුවන්ගෙන් එක් අයෙකු රජයේ සේවකයෙකු විය යුතු බවට කොන්දේසියක් පැනවූ විනිසුරුවරයා, සැකකරුට විදෙස් ගමන් තහනමක් ද නිකුත් කළේය. තවද, ඇප ලබා ගැනීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම මිරිහාන පොලිසිය හමුවේ පෙනී සිටිය යුතු බවට ද නියම කෙරිණි.

මෙම සැකකරුට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ මහාධිකරණය හමුවේ සෘජුවම අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත්, ඇප මත මුදා හැරියහොත් සැකකරු අධිකරණය මගහැරීමේ ප්‍රවණතාවක් ඇති බවත් පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ රන්දිමා රණසිංහ මහත්මිය ඇප ලබා දීමට විරුද්ධත්වය පළ කළාය.

කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කළුපහන මහතා අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයාට එරෙහි චෝදනාව අනුව ඇප පනතේ 16 වැනි වගන්තිය ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාරයේ තබා ගත හැකි උපරිම කාලය වන මාස 12 ක කාලය මේ වන විටත් ඉක්ම ගොස් ඇති බැවින්, ඕනෑම කොන්දේසියක් යටතේ ඔහු ඇප මත මුදා හරින ලෙසය.




සැකකරු, විවාහයෙන් වෙන්ව මිරිහාන ප්‍රදේශයේ පදිංචිව සිටි ඝාතනයට ලක් වූ නීතිඥවරියගේ රියැදුරු ලෙස කටයුතු කර තිබේ. 2024 වසරේ සැප්තැම්බර් 21 වන දින ඇයගේ නිවස තුළදී, මියගිය නීතිඥවරියගේ සත් හැවිරිදි දියණිය සහ ඇගේ මව බලා සිටියදීම මෙම ඝාතනය සිදු කර ඇති බව වාර්තා විය. ඝාතනයෙන් පසු සැකකරු බෙන්තර ගඟට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති අතර, එම උත්සාහය අසාර්ථක වීමෙන් පසුව අලුත්ගම පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණි.