update-lassa-was-killed-for-15-million

 වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය රුපියල් ලක්ෂ 15ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුකරන්නක් බවට පොලීසිය තොරතුරු හෙළිකරගෙන තිබේ. අත්අඩංගුවට ගත් ප්‍රධාන වෙඩික්කරු පවසා ඇත්තේ 'ඩුබායි ලොක්කා' නමැත්තෙකුගෙන් මෙම කොන්ත්‍රාත්තුව ලැබුණු බවයි. මෙම අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් හය දෙනෙකුගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරයි.



පසුගිය බදාදා දිනයේ ප්‍රාදේශීය සභා කාර්යාලයේ පැවති මහජන දිනයට සහභාගී වෙමින් සිය රාජකාරියේ නිරතව සිටියදී සභාපතිවරයා මෙම වෙඩි ප්‍රහාරයට ලක්විය. යතුරුපැදියකින් පළා ගිය ඝාතකයින් සොයා පොලීසිය CCTV දර්ශන ආධාරයෙන් පුළුල් පරීක්ෂණයක් දියත් කළේය.

විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් කැකිරාවේ නිවාස 50 ප්‍රදේශයේ කමතක් සඳහා භාවිත කළ ඉඩමක නිවසක සැඟව සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කර ගත්තේය. ඊයේ (ඉරිදා) අලුයම එම නිවස වටලා සිදුකළ මෙහෙයුමකදී ඝාතනය සඳහා යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ තවත් සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. ක


ෙසේ වෙතත්, එම වැටලීමේදී පොලීසිය සමග ඇතිවූ පොරබැදීමක් අතරතුර ප්‍රධාන වෙඩික්කරු පළා යාමට සමත් වී තිබුණි.

පළා ගිය වෙඩික්කරු සොයා ගැනීම සඳහා CCTV දර්ශන මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය ද යොදා ගනිමින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරිණි. සැකකරු වෙස් වළා ගත හැකි සියලු ආකාර උපකල්පනය කරමින් AI තාක්ෂණයෙන් සැකසූ ඡායාරූප, බුද්ධි අංශ විසින් සියලුම විමර්ශන නිලධාරීන්ගේ ජංගම දුරකථන වෙත යොමු කර තිබුණි. කැකිරාවෙන් පළා ගිය සැකකරු ඊයේ (ඉරිදා) අලුයම බස් රථයකින් කොළඹට පැමිණ ඇති බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබීමත් සමග කොළඹ, මහරගම, නුගේගොඩ සහ අතුරුගිරිය වැනි ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ සෝදිසි කිරීම් දියත් කෙරිණි.

කොළඹට ළඟා වූ සැකකරු, බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයක නිවසකට සූක්ෂම ලෙස ගොස්, එහිදී සිය කොණ්ඩය කපා ඇඳුම් මාරු කරමින් පෙනුම වෙනස් කර ගැනීමට උත්සාහ කර ඇත. පසුව ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවද වාර්තා වේ. සිය ජංගම දුරකථනය ආරෝපණය (චාජ්) කර ගැනීම සඳහා එම නිවසේ සිටි අයෙකුට භාර දුන් වෙඩික්කරු, අනතුරුව ත්‍රිරෝද රථයකින් නුගේගොඩ දෙසට ගමන් කර තිබේ. මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු වන මොහු, එම ගමන අතරතුර ද මත්ද්‍රව්‍ය සෙවූ බවට තොරතුරු ඇත. විමර්ශනවලට අනුව, ඔහු මහරගම නගරයට පැමිණ ඇත්තේ ඝාතන කොන්ත්‍රාත්තුවේ ඉතිරි මුදල් කොටස ලබා ගැනීමේ අරමුණෙනි.




මහරගම නගරයේ බෝ ගස අසල පිහිටි ජංගම දුරකථන අලෙවිසැලකට ගිය සැකකරු චාජරයක් මිලදී ගැනීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී ඔහුට ඩුබායි රාජ්‍යයෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර, තමා සතු ජංගම දුරකථනය වහාම ඉවත් කරන ලෙසට එමගින් උපදෙස් ලැබී ඇත. වෙළඳසැලෙන් පිටතට පැමිණි ඔහු නැවත පළා යාමට උත්සාහ කළ ද, ඒ වන විටත් විමර්ශන නිලධාරීන් කිහිප දෙනෙකුගේම තියුණු නිරීක්ෂණයට ඔහු ලක්ව සිටියේය.

සැකකරු ලුහුබැඳ ගිය ආවේක්ෂණ නිලධාරියෙකු විසින් මොහු වෙඩික්කරුම බවට නිශ්චිතව හඳුනාගෙන, ඒ බව මෙහෙයුම සම්බන්ධීකරණය කළ වට්ස්ඇප් සමූහයට දැනුම් දෙන ලදී. ඊට සමගාමීව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාක්ෂණික සහාය ලබා දෙමින් සැකකරු සිටි ස්ථානය තත්‍ය කාලීනව තහවුරු කරගෙන තිබුණි. තමා පසුපස නිලධාරියෙකු එන බවට ඇති වූ සැකය මත සැකකරු දිව යාමට උත්සාහ කළද, ක්ෂණිකව ක්‍රියාත්මක වූ විශේෂ කාර්යය බළකායේ සහ බුද්ධි අංශ නිලධාරීන් එක්ව එම ස්ථානයේදීම ඔහුව කොටු කර අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුගේ සිරුරේ තිබූ පච්ච කොටා තිබූ සලකුණු ඔහුව හඳුනාගැනීම සඳහා ප්‍රධාන සාක්ෂියක් විය. දකුණු අතේ ඉහළ බාහුවේ 'ANURADA' ලෙස ඉංග්‍රීසියෙන් ද, වම් අතේ 'හිතුමතේ ජීවිතේ' ලෙස සිංහලෙන් ද, පපුවේ බිරිඳගේ බව කියන පච්චයක් සහ 'සඳසි දුව' ලෙස සඳහන් පච්ච ද ඒ අතර වූ බව පොලීසිය තහවුරු කළේය.

අත්අඩංගුවට පත් වූයේ ගාල්ල, අඟුලුගහ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි නුවන් තාරක නමැත්තෙකි. මොහු මීට පෙර සොරකම් චෝදනා පහක්, මංකොල්ලකෑම් චෝදනා දෙකක් සහ ආයුධ තබා ගැනීම් ඇතුළු චෝදනා ගණනාවකට අදාළව නඩු රැසකට මුහුණ දී ඇති අයෙකු බවද වාර්තා වේ.

මූලික විමර්ශනවලට අනුව, වෙඩික්කරු මෙම ඝාතනය භාරගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 15ක මුදලකට බව නැවතත් තහවුරු වී තිබේ. ප්‍රධාන වෙඩික්කරුට අමතරව, කැකිරාවේදී අත්අඩංගුවට ගත් යතුරුපැදි පැදිකරු සහ සැකකාරිය ද ඇතුළත් සැකකරුවන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ සඳහා ඊයේ (ඉරිදා) රාත්‍රියේම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දෙන ලදී. සැකකරුවන් කණ්ඩායම අද (සඳුදා) පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර, ඔවුන් රඳවා ගැනීමේ නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිත බවය.