shashindra-released-on-bail

 දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ මහවැලි අධිකාරියට අයත් ඉඩමක සිදු වූ හානියකට අදාළ වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙනි.



2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලකාරී වාතාවරණය අතරතුර, සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැඟිල්ලක් ඇතුළු දේපළ හානියට පත්ව තිබුණි.

එම අනවසර දේපළ සඳහා වන්දි ගෙවීම මුලින් ප්‍රතික්ෂේප කර තිබියදී, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල බලය භාවිත කරමින් ඊට පටහැනිව කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව සිටි ඇතැම් රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් රුපියල් 8,850,000/- ක වන්දි මුදලක් ලබා ගැනීම මගින් "දූෂණය" නමැති වරද සිදු කිරීම සහ මහවැලි අධිකාරියේ දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට ඔහුට චෝදනා ගොනු කර තිබුණි.