ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොලිසිය සිය සැබෑ කාර්යභාරය කුමක්ද යන්න අමතක කරමින් හිටපු අමාත්‍යවරුන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට යොමුවී ඇති බවයි. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
රට තුළ සාපරාධී අපහාස නීතිය ඉවත් කර දීර්ඝ කාලයක් ගතවී තිබුණ ද, වත්මන් ඇමැතිවරුන් විසින් කරනු ලබන අපහාස පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය තවමත් රාජකාරී කිරීමට කටයුතු කරන බවටද කාරියවසම් මහතා චෝදනා කළේය.
මෙරට සිදුවූ බව කියන භයානකම වංචාවක් පිළිබඳව විමර්ශනය නොකරන පොලිසිය, ඇමැතිවරුන්ට සිදුවූ අපහාස ගැන සොයා බැලීමට පෙළඹී ඇති බවත්, සාපරාධී අපහාස නීතිය අහෝසි වී ඇති බව පොලිස්පතිවරයාට මතක් කර දිය යුතු බවත් ඔහු කීය. අමාත්‍යවරුන්ට පෞද්ගලිකව අපහාසයක් සිදුවී ඇත්නම් නඩු පවරා ඒවා විසඳා ගන්නා ලෙසද ඔහු යෝජනා කළේය.
දැවැන්ත කන්ටේනර් වංචාවක් සම්බන්ධයෙන් පොලිසියට මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට දිගින් දිගටම පැමිණිලි ලැබී තිබියදීත්, මේ වන තෙක් එකදු පුද්ගලයකුගෙන්වත් කටඋත්තරයක් හෝ සටහන් කරගෙන නොමැති බවද මහලේකම්වරයා පෙන්වා දුන්නේය. එසේ තිබියදී, එම වංචාව ගැන මුනිවත රකින පොලිසිය, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සුක වන බවත්, ශ්‍රී ලංකා පොලිසියට අපරාධ යනු කුමක්ද සහ තම වගකීම කුමක්ද යන්න අමතක වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
වත්මන් පොලිස්පතිවරයා තවත් පූජිත් ජයසුන්දර කෙනෙකු වීමට උත්සාහ නොකළ යුතු බව කී කාරියවසම් මහතා, තවත් පොලිස්පතිවරයකු සිරගෙදරක දුක් විඳිනවා දැකීමට තමන් අකමැති බවද පැවසීය. එමෙන්ම, මීට පෙර පැවති ආණ්ඩු කැබිනට් මණ්ඩල සංශෝධනය කරන විට ඒ ගැන දිගින් දිගටම චෝදනා කරමින් උපහාසාත්මක කතා කී ජනතා විමුක්ති පෙරමුණේ සහ මාලිමාවේ නායකයින්ට දෛවයේ සරදමකට මුහුණ දීමට සිදුවී ඇති බවත්, පත්වීමට පෙර ඉතා කුඩා කැබිනට් මණ්ඩලයක් ගැන පැවසුවද දැන් ඔවුන්ටම කැබිනට් සංශෝධන කිරීමට සිදුවී ඇති බවත් ඔහු කියා සිටියේය.
මේ වන විට මත්ද්‍රව්‍ය ව්‍යසනය රට තුළ ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ලෙස භයානක උවදුරක් බවට පත්ව පැතිර ගොස් ඇති බවත්, එය නතර කිරීමට මාලිමා ආණ්ඩුව අසමත්වී ඇති බවත් ඒ මහතා චෝදනා කළේය. මත්ද්‍රව්‍ය උවදුර රාජපක්ෂවරුන් පිට පැටවීමට උත්සාහ කළද, මත්ද්‍රව්‍ය හමුවූ නිවසේ හිමිකරු සහ ඒවා ගෙන ආ බෝට්ටුවේ හිමිකරු කවුරුන්ද යන්න හෙළිවීමත් සමග මෙම ජාවාරම පිටුපස සිටින්නේ කවුරුන්දැයි ජනතාවට පැහැදිලිව පසක් වී ඇතැයි ද ඔහු පැවසීය.
බිමල් රත්නායක මහතාගේ වරාය භාර කැබිනට් අමාත්‍ය ධූරය අහිමි වීම, මෙම කන්ටේනර් නිදහස් කිරීම සහ රටේ මත්ද්‍රව්‍ය භාවිතය අතර යම් සහසම්බන්ධයක් තිබේද යන්න ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු බවද කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. රතු ලේබල් ගැසූ කන්ටේනර් 323ක් නිදහස් කිරීම මෙතෙක් මෙරට ඉතිහාසයේ සිදුවූ දැවැන්තම වංචනික ක්‍රියාව බවත්, එම වංචාවේ තරම මෙතෙක් කිසිවකු නොදන්නා බවත් ඔහු කීය. මෙම කන්ටේනර් තුළ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තිබූ බවට අර්ජුන නම් මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී මුලින්ම ප්‍රකාශ කළ බවත්, මේ සම්බන්ධයෙන් රහස් පොලිසියට පළමු පැමිණිල්ල සිදුකළ ඩෑන් ප්‍රියසාද් මහතා දින කිහිපයකට පසු ඝාතනයට ලක්වූ බවත් නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval