ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ ඔක්තෝබර් 13 වන සඳුදා, කොදෙව් ආරම්භක පිතිකරු ජෝන් කෑම්බල් ඉතිහාසගත දස්කමක් දැක්වීමට සමත් විය. ඉන්දියාව පළමු ඉනිමේ ලකුණු 270ක වාසියක් සමග කොදෙව්වන්ට නැවත පිතිකරණයේ යෙදීමට (follow-on) ආරාධනා කළ ද,
දෙවන ඉනිමේදී ඔවුන් දැක්වූ සටන්කාමී පිතිකරණය හේතුවෙන් තරගයට අනපේක්ෂිත උද්වේගයක් එක් කරමින් ඉන්දියාවට නැවත වරක් පන්දුවට පහර දීමට සිදුවිය.මෙම කොදෙව් නැගී සිටීමේ ප්‍රධානතම චරිතය බවට පත් වූ ජෝන් කෑම්බල්, සිය ටෙස්ට් දිවියේ මංගල ශතකය වාර්තා කළේය. තිස් දෙහැවිරිදි වියේ පසුවන ඔහු සිය 25 වැනි ටෙස්ට් තරගයේ ඉනිම 50 ක් අවසානයේ මෙම කඩඉමට ළඟා වීම විශේෂත්වයකි. 2020 දී වෙලින්ටන් නුවරදී නවසීලන්තයට එරෙහිව ලබා ගත් ලකුණු 68, මීට පෙර ඔහුගේ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වූ අතර, ඔහු මීට පෙර අර්ධ ශතක තුනක් පමණක් වාර්තා කර තිබිණි.
මෙම ශතකයත් සමග කෑම්බල් 21 වන සියවසේ ලෝක වාර්තාවක් පිහිටවූයේ, ටෙස්ට් මංගල ශතකයක් ලබා ගැනීම සඳහා ආරම්භක පිතිකරුවෙකු ක්‍රීඩා කළ වැඩිම ඉනිම ගණනේ (50) හිමිකරුවා බවට පත් වෙමිනි. සමස්ත ටෙස්ට් ඉතිහාසය දෙස බැලීමේදී, මංගල ටෙස්ට් ශතකය සඳහා ඉනිම 50කට වඩා ක්‍රීඩා කළ දෙවන ආරම්භක පිතිකරු ඔහු වන අතර, මීට වසර 60කට පෙර එංගලන්තයේ ට්‍රෙවර් ගොඩාර්ඩ් (ඉනිම 59) පමණක් ඔහුට වඩා වැඩි ඉනිම ගණනක් ගෙන ඇත.
දිල්ලි ක්‍රීඩාංගණයේ වාර්තා කිහිපයක් ද මෙම ශතකයත් සමග අලුත් විය.
21 වන සියවසේදී දිල්ලි නුවර ටෙස්ට් ශතකයක් වාර්තා කළ පළමු සංචාරක ආරම්භක පිතිකරු බවට කෑම්බල් පත් විය. එමෙන්ම, වසර 41 කට පසුව මෙම ක්‍රීඩාංගණයේදී සංචාරක ආරම්භක පිතිකරුවෙකු ශතකයක් ලබා ගත් පළමු අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1984 දෙසැම්බර් මාසයේදී එංගලන්තයේ ටිම් රොබින්සන් එලෙස දස්කම් දක්වා තිබිණි.
ඉන්දියාවේදී මංගල ටෙස්ට් ශතකයක් වාර්තා කළ 17 වන ක්‍රීඩකයා ලෙස ද ජෝන් කෑම්බල් වාර්තා පොත් අතරට එක්වූ අතර, ඉන්දියානු ක්‍රීඩාංගණයක් තුළ මංගල ශතක වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ ස්ථානය ලෙස දිල්ලි ක්‍රීඩාංගණය තවදුරටත් සිය වාර්තාව ඉදිරියට ගෙන ගියේය. 2002 දී කොල්කටා නුවරදී වාවේල් හයින්ඩ්ස්ගෙන් පසුව, ඉන්දියාවේදී ඉන්දියාවට එරෙහිව ශතකයක් වාර්තා කළ පළමු කොදෙව් ආරම්භක පිතිකරු වීමට ද කෑම්බල් සමත් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval