the-current-governments-ministers-are-enjoying-heavenly-bliss-while-the-people-are-suffering-in-hell-sajith

 වත්මන් රජය පසුගිය මැතිවරණ සමයේ ජනතාවට දිව්‍ය ලෝකයක් පිළිබඳව පොරොන්දු ලබා දුන්න ද, එම සැප සම්පත් පාලකයන්ට සහ මැති ඇමතිවරුන්ට පමණක් සීමා වී ඇති බවත්, රටේ ජනතාව අපේක්ෂා කළ සංවර්ධනය සිදු වී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව නබඩවැව ශ්‍රී බෝධිරුක්කාරාමයේ පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ඇතැම් ප්‍රදේශවල වැසි සමයේ කිලෝමීටර් ගණන් මාර්ග ඉදිකිරීම ජනතාව රැවටීමේ උපක්‍රමයක් බව පෙන්වා දෙන ඒ මහතා, එලෙස ඉදිකරන මාර්ග ඉක්මනින් විනාශ වන බව පාලකයන් නොදන්නේදැයි ප්‍රශ්න කළේය. 33%කින් අඩු කරන බවට පොරොන්දු වූ විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බවත්, රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරන බවට දුන් පොරොන්දුව කඩ කරමින් ඇතැම් රාජ්‍ය ආයතන වසා දමා සේවකයන් නිවෙස් කරා යැවීමට කටයුතු කර ඇති බවත් ඔහු පැවසීය.



මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව රජය ගන්නා ක්‍රියාමාර්ග අගය කරන නමුත්, රතු ලේබල් ගැසූ කන්ටේනර් 323ක් නිදහස් වීම පිළිබඳව නිසි විමර්ශනයක් සිදු නොවීම බරපතල ගැටළුවක් බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. මෙලෙස නිදහස් කළ කන්ටේනර් සංඛ්‍යාව සහ ඒවායේ අඩංගු වූ අවදානම් සහිත භාණ්ඩ පිළිබඳව සමාජයේ සැකයක් පවතින බවද ඔහු සඳහන් කළේය.

ජනතාවට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක 'අස්වැසුම' වැඩසටහන ද නුදුරේදීම නතර කිරීමට නියමිත බවත්, එමගින් දිළිඳුකම තුරන් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. පාරිභෝජනය පමණක් ඉලක්ක කරගත් මෙම වැඩසටහන තුළ ඉතිරි කිරීම, ආයෝජනය, නිෂ්පාදනය හෝ ව්‍යවසායකත්වය ගොඩනැගීම වැනි අංග නොමැති වීමෙන් තිරසාර විසඳුමක් නොලැබෙන බව ඒ මහතාගේ අදහසයි.



රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් අඩක දායකත්වයක් සපයන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පවා අද අසරණ වී ඇති තත්ත්වයක් තුළ, රජය ජනතා ගැටලුවලට විසඳුම් ලබා දෙනවා වෙනුවට මාධ්‍ය සංදර්ශන මගින් දේශපාලන ස්ථාවරත්වය රැක ගැනීමට උත්සාහ දරන බවට ඔහු චෝදනා නැගීය. පැහැදිලි ජාතික සැලැස්මක් නොමැති වීම හේතුවෙන් වසරක් ගතවී ඇතත් මානව හා ස්වභාවික සම්පත් විනාශ වනවා විනා ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලැබී නොමැති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මෙම කරුණු ගෙනහැර දක්වමින් එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී සමගි ජන බලවේගයට බලය ලබා දුනහොත් සැබෑ සංවර්ධනයේ ආරම්භය තමන් පෙන්වා දෙන බවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිඥා දුන්නේය. ඔහු මෙම අදහස් පළ කළේ "ගමින් ගමට - දොරින් දොරට" ජංගම සේවා සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි. දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,021 ක් සහ ගම්මාන 50,964 ක් ආවරණය වන පරිදි ක්‍රියාවට නංවන මෙම වැඩසටහන් මාලාව මොරටුමුල්ල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.