හුංගම පොලිස් වසමේ රන්න වාඩිගල, වලව් මහත්තයා ආර ප්‍රදේශයේ නිවෙසක් තුළදී පිරිමියකු හා කාන්තාවක පෙරේදා (6) අලුයම් කාලයේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි හුංගම පොලිසිය වාර්තා කරයි. මුහුණු ආවරණය කරගෙන පැමිණි පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඝාතනය සිදු කොට පලා ගොස් ඇති බව පොලිස් තොරතුරු හෙළි කරයි.
ඝාතනය වී ඇත්තේ, මනුෂ්‍ය ඝාතන කිහිපයකට චෝදනා ලැබූ රන්න කැලණිගම පදිංචිව සිටි විජේසේකර ආරච්චිගේ පසිඳු දේශාන් නොහොත් 'බෝ පසිඳු' නම් 28 හැවිරිදි ධීවරයා හා කුඩාවැල්ලේ පදිංචිව සිටි 27 වැනි වියේ පසු වූ අමරසිංහ කම්කානම්ගේ ඉමේෂා මධුභාෂණී නම් කාන්තාවකි. මෙම යුවළ අනියම් සබඳතාවකින් පසුවූ බවත් වාර්තා වේ.
පොලිස් තොරතුරුවලට අනුව, ඝාතනය සිදු වූ නිවස දැනට බන්ධනාගාරගතව සිටින "කුඩු නුවන්" නමින් හඳුන්වනු ලබන පුද්ගලයකුට අයත් එකක් වන අතර, මියගිය පසිඳු දේශාන් සිද්ධියට දින දෙකකට පෙර එම නිවෙසේ තාවකාලිකව නවාතැන් ගෙන ඇත. ඝාතනය සිදු වූ අවස්ථාවේ නිවෙසේ හිමිකරුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා සිට ඇති බවත්, ඇය එදින රාත්‍රී 12.00ට පමණ නිවෙසේ දොර ඇර ඇති බවත් පොලිස් තොරතුරු වැඩිදුරටත් පවසයි.
අලුයම් කාලයේදී ගෙහිමි කාන්තාව වැසිකිළි යෑමට නිවෙසින් පිටත පැමිණි අවස්ථාවේදී, අඳුරේ සැඟවී සිටි ඝාතක සැකකරුවන් ඇයගේ බෙල්ලෙන් අල්ලාගෙන ඇයව නිහඬ කර ඇත.
ඒ වනවිට නිවෙස තුළ සිටි කාන්තාවක් ද නිවෙසේ පිටුපස දොර ඇරගෙන වැසිකිළි යෑමට එළියට පැමිණ තිබේ. ඇය අල්ලා ගත් ඝාතකයන් නිවෙස තුළට ඇදගෙන ගොස් එම යුවළ කපාකොටා ඝාතනය සිදුකර පලා ගොස් ඇත.
ඝාතනයට ලක් වූ පසිඳු හේශාන්ගේ හිස කඳින් වෙන්වන ලෙස තියුණු ආයුධයකින් පහරදී ඇති අතර, ඉමේෂා මධුභාෂණීගේ ගෙල ප්‍රදේශය ද තියුණු ආයුධයකින් කපා ඇති බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස, ඝාතනයට ලක්වූ කාන්තාවගේ මීට පෙර අනියම් සැමියා ලෙස සිටි සමරවික්‍රම කඩවත ආරච්චිගේ සමන්කුමාර නොහොත් 'බින්දු' නම් පුද්ගලයා පොලිසිය විසින් හඳුනාගෙන ඇත. ඔහු ඊයේ (7) දහවල් හුංගම පොලිසියට බාර වී ඇති අතර, ඉන් අනතුරුව තවත් තිදෙනකු බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා තියුණු ආයුධයක් සමග අත්අඩංගුවට ගත් බව ද පොලිස් තොරතුරුවලින් පැවැසේ. පස්වන සැකකරු සොයා පොලිස් කණ්ඩායම් මෙහෙයුම් දියත් කොට ඇත.
'බින්දු' නමැති ප්‍රධාන සැකකරු හා මියගිය පසිඳු කලක් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට ඇති අතර, එම කාලයේදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මියගිය පසිඳු හා බින්දු අතර මීට මාස කිහිපයකට පෙරදී රන්න වාඩිගල ප්‍රදේශයේදී ගැටුමක් ඇති වී තිබේ. එම ගැටුම අතරතුරදී එල්ල කරන ලද පොරව පහරක් නිසා පසිඳුගේ හිසට බරපතළ තුවාල සිදුව තිබුණු බවත්, මාසයකට අධික කාලයක් තිස්සේ ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ බවත් පොලිස් තොරතුරුවලින් පැවැසේ.
මියගිය කාන්තාව කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක වුව ද, ඇය වෙනත් පුරුෂයන් කිහිපදෙනකු හා සම්බන්ධතා පවත්වා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. ඇය තිස්සමහාරාම ප්‍රදේශයේ කල් ගෙවා ඇති බව ද දැනගන්නට තිබේ. මියගිය කාන්තාව පුරුෂයන් කිහිපදෙනකු හා තිබූ සම්බන්ධතාවන් ද මෙම ඝාතනයට එක් හේතුවක් වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
ඝාතනයට ලක්වූ පසිඳු හේෂාන් (බෝ පසිඳු) ඝාතනයට ලක්වූ කාන්තාවගේ පෙර සිටි අනියම් සැමියාව 2024 වර්ෂයේ මාර්තු මාසයේදී වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව සැකකරුවකු ලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිට අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටි අයෙකි. පසුව මීට මාස හයකට පමණ පෙර නැවතත් මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියකට හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා නිදහස්ව පැමිණි අයෙකි.
බෝ පසිඳු සහ ඔහුගේ අනියම් බිරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව ද අධිකරණයෙන් චෝදනා ලැබ ඇප පිට සිටි අය බව පොලීසිය පවසයි.
ඝාතනය සිදුවූ නිවෙසේ හිමිකරු ද මත්ද්‍රව්‍ය චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. එම තැනැත්තා ඝාතනය සිදු කළ 'බින්දු' නමැත්තාගේ මිතුරකු බව ද පොලීසිය පවසයි.
කෙසේ නමුත් නිවෙසේ හිමිකාරිය පවසන්නේ ඊයේ (06) රාත්‍රී දොළහයි තිහට පමණ පස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ඝාතනයට පැමිණි බවයි.
මෙම ද්විත්ව ඝාතනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (7) අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු එරන්දි හේවාවසම් මෙනවිය විසින් සිදුකරන ලදී. පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය තංගල්ල මූලික රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා විසින් සිදු කර ඇත.
තංගල්ල කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගමගේ මහතාගේ උපදෙස් මත, හුංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර, තංගල්ල කොට්ඨාස අපරාධ හා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ද පරීක්ෂණවලට සහභාගී වී ඇත.
මෙම සිද්ධියේ පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් පවතින අතර, තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත්, ඝාතනයේ පසුබිම් තොරතුරු තවදුරටත් සොයා බැලීමටත් පොලිසිය විශේෂ මෙහෙයුම් දියත් කොට ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval