
ශ්‍රී ලංකාව තුළ ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතය සහ නියාමනය පිළිබඳව අනාගතයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ඉහළ පෙළේ කමිටුවක් පත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට යෝජනා කර තිබේ.
මෙම යෝජනාව ඇතුළත් ලිපියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත දැනටමත් යොමු කර ඇති අතර, ඊට රජයේ පාර්ශ්වයෙන් ද යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙමඟින් පිහිටුවීමට යෝජිත කමිටුවේ මූලික අපේක්ෂාව වන්නේ, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
පසුගිය කාලය පුරාම මෙරට සමාජය තුළ ‘ක්‍රිප්ටෝ මුදල්’ පිළිබඳව පුළුල් කතාබහක් නිර්මාණය වූයේ, රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය වත්කම් ප්‍රකාශ මගින් තමන්ට ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ඇති බවට හෙළිදරව් කිරීමත් සමඟය.
මේ පිළිබඳව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් මෙරට තුළ දැනට පවතින නීතියක් නොමැති බව අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval