රාජ්‍ය හිමිකාරීත්වය දරන මහජන බැංකුව සිය නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල වන 'මහජන කුළුණ' (People’s Tower) ඊයේ විවෘත කරන ලදී. කොළඹ 02, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවතේ පිහිටි මෙම නව ගොඩනැගිල්ල ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
දශක හයකට අධික ඉතිහාසයකට හිමිකම් කියන මහජන බැංකුවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල මහල් 22 කින් සහ පහළ මාල 03 කින් සමන්විත වේ. හරිත ගොඩනැගිලි ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කර ඇති මෙහි ශ්‍රවණාගාරයක්, ලේඛන ඒකකයක්, ආපනශාලාවක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ සම්මන්ත්‍රණ ශාලා රැසක් ඇතුළත් වේ. ඊට අමතරව, මහජන බැංකු කාර්ය මණ්ඩල පුහුණු විද්‍යාලය සහ නවීන ඩිජිටල් බැංකු සේවා පහසුකම්වලින් සමන්විත 'යුනියන් පෙදෙස' ශාඛාවද මෙම පරිශ්‍රයේම ස්ථාපිත කර තිබේ.
මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමද සිදු විය. 1977 වසරේ සිට සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පවත්වාගෙන ගිය පැරණි ප්‍රධාන කාර්යාලය වෙනුවට මෙම නව 'මහජන කුළුණ' ස්ථාපිත කර ඇත.
1961 වසරේදී ස්ථාපිත කරන ලද මහජන බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනයක් ලෙස සැලකෙන අතර, එහි වත්කම රුපියල් ට්‍රිලියන 3.7 ඉක්මවයි. දිවයින පුරා ශාඛා 750 කට අධික සංඛ්‍යාවක් සහ 8,000 කට අධික සේවක මණ්ඩලයක් සමඟින්, මිලියන 15.2 ක දැවැන්ත පාරිභෝගික පිරිසකට බැංකුව සේවා සපයයි.
ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියෙකු වන මහජන බැංකුව මිලියන 3.5 ඉක්මවූ ඩිජිටල් පරිශීලකයින් සංඛ්‍යාවකට හිමිකම් කියන අතර අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, යටිතල පහසුකම් සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සඳහා මූල්‍ය පහසුකම් සලසනු ලබයි.
මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ බැංකුවේ ගනුදෙනුකරුවෝ පිරිසක්ද සහභාගී වූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval