agreement-within-the-sjp-to-discuss-joint-work-with-the-unp

සමගි ජන බලවේගය අද (09) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී ලබන 2026 වසරේ පවත්වන්නට නියමිත ඉදිරි පළාත් සභා මැතිවරණයට සූදානම්වීම ගැන සාකච්ඡා පවත්වා ඇති අතර සජබය ඇතුළේ එජාපය සමග හවුලේ වැඩකිරීම ගැන විවිධ මතවාද පැවති නමුත් අද පැවති සාකච්ඡා වලදී ඉදිරි මැතිවරණයට එජාපය - සජබය හා හවුල් කරගත යුතු බවට එකඟතාවක් සජබයේ ඇතිකරගෙන තිබේ.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එජාපය තවම සිය අදහස් දැක්වීමක් කර නැත.


මෙම පක්ෂ දෙක අතර බිම් මට්ටමේ පාක්ෂිකයින් සමාන වීමත් මැද මට්ටමේ බොහෝ අය අතර එක්වීමට ගැටලුවක් නැතිවීමත් පෙන්නුම් කරන නමුත්  එක්වී කරන මැතිවරණයකදී නායකත්වය ගන්නේ එජාපයේ රනිල්ද සජබයේ සජිත්ද යන්න විසඳාගන්නට අපහසු ගැටලුවක්ව පවතී.
එම ගැටලුව මත මින් ඉහත සාකච්ඡාද අසාර්ථකවී තිබුණි.
කෙසේ වෙතත් පසුගිය කාලයේ පැවති මැතිවරණවලීද ජනතාව වැඩි මනාප ලබාදී තිබුනේ සජබයට වන අතර පාර්ලිමේන්තු හා පළාත් පාලන මැතිවරණවලදී සභිකයින් සංඛ්‍යාත්මකව බහුතරය ඇත්තේ සජබයටයි. (එජාපය වෙනත් පක්ෂ නම් වලින්ද තරග කෙරිණි)
නමුත් බුද්ධිමය උපාය මාර්ග , නායකත්ව මගපෙන්වීම  හා ජාත්‍යන්තර පිළිගැනීම  යන සාධකයේදී සජිත්ට වඩා රනිල් ඉදිරියෙන් සිටින අතර එමගින් සන්ධානගතවීමේදී එජාපයට නායකත්වය ගැනීමේ වැඩි වාසි පෙන්වයි.


අද පැවති රැස්වීමෙන් පසු
සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන සහ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ප්‍රායෝගික හා ජනතාවාදී ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් ඉදිරියට කටයුතු කරන බවයි.