කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට සැකපිට අත්අඩංගුවට ගෙන රැගෙන ආ පුද්ගලයෙකු හදිසියේ පුටුවකින් බිම ඇද වැටී රෝහල් ගත කිරීමෙන් පසු මියයාමේ පුවතක් වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12, ආදුරුප්පු විදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ කුමාර රත්නායක නැමැති අයෙකි.
සිද්ධිය ආරම්භ වී ඇත්තේ කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු වරෙන්තු ක්‍රියාත්මක කිරීමේ රාජකාරියක නිරතව සිටියදීය. ඔවුන්ට ලැබුණු තොරතුරක් මත කොළඹ 12, ඩයස් පෙදෙසේ නිවසකට ගොස් එහි සිටි වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේ අදාළ නිවසේ වරෙන්තුකරු සමග පසුව මියගිය කුමාර රත්නායක ද රැඳී සිට තිබේ. ඔහුගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් සැකය මත ඔහුව ද අත්අඩංගුවට ගෙන අනෙක් වරෙන්තුකරු සමග පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇත.
පොලිස් ස්ථානයේ පුටුවක වාඩි කරවා සිටියදී මෙම සැකකරු හදිසියේම ක්ලාන්ත වී බිමට ඇද වැටී තිබේ. අනතුරුව, එම ස්ථානයේ සිටි ඔහුගේ බිරිඳ සහ අනෙක් වරෙන්තුකරු විසින් ඔහුව ත්‍රිරෝද රථයක නංවා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත කඩිනමින් රැගෙන ගොස් ඇත.
කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම සැකකරු මියගොස් ඇති බව තහවුරු වී තිබේ. මියගිය පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවකු බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.