15-million-people-came-to-see-the-bmich-book-fair

 ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 26 වන වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඊයේ (05) දිනය වනවිට ලක්ෂ දහතුනකට ආසන්න පිරිසක් පැමිණ ඇති බව එම සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතා ප්‍රකාශ කළේය. අද (06) දිනෙන් නිමාවට පත්වන මෙම ප්‍රදර්ශනය සඳහා අවසන් දිනයේදී ද ලක්ෂ දෙකක පමණ ජනතාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව ලක්ෂ 15 ක් පමණ මෙවර ප්‍රදර්ශනය නරඹා ඇතැයි තක්සේරු කර තිබේ.





එක් දිනකදී හැර සෙසු දිනවල යහපත් කාලගුණික තත්ත්වයක් පැවතීමත් සමග මෙවර ප්‍රදර්ශනය අතිශය සාර්ථක මට්ටමක පැවති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. ග්‍රන්ථ කිහිපයක්ම ඉහළම අලෙවි වාර්තා පිහිටුවීම, මෙරට පොත් ප්‍රකාශන කර්මාන්තයේ අනාගත ප්‍රගමනයට විශාල ශක්තියක් වනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කළේය.

මෙවර පොත්පත් මිලදී ගැනීම සඳහා ජනතාව තුළ පැවති උනන්දුව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබූ බවද ඒ මහතා සඳහන් කළේය. පාඨකයන්ගෙන් ප්‍රදර්ශන කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුවද, ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එම ඉල්ලීම ඉටුකළ නොහැකි බැවින් ප්‍රදර්ශනය සැලසුම් කළ පරිදි අද (06) දිනයෙන් අවසන් කිරීමට තීරණය කළ බව ඔහු පැවසීය.



සාහිත්‍ය මාසයට පමණක් සීමා නොවී, වසර පුරාම පොතපත කෙරෙහි ඇති උනන්දුව සහ ඇල්ම එලෙසම පවත්වාගෙන යන ලෙසද සභාපති දිනේෂ් කුලතුංග මහතා මෙහිදී සියලු පාඨකයන්ගෙන් ඉල්ලීමක් කළේය.