working-4-days-a-week-is-more-productive-than-5-research-reveals

 අපගේ ජීවිතයේ බොහෝ කාලයක් කාර්යාලයේ පුටුවකට වී ගත කරන අපට සති අන්තය යනු ඉමහත් සහනයක් ගෙන දෙන්නකි. සාමාන්‍යයෙන් අපට සති අන්තය සඳහා ලැබෙන්නේ නිවාඩු දින දෙකක් පමණි. එහෙත් සති අන්තය තවත් එක් දිනකින් දිගු වුවහොත්? බොහෝ දෙනකුට එය සිහිනයක් විය හැකිය.

එහෙත් දැන් එම සිහිනය යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. එනම් හතර දින වැඩ සතියයි. වැඩ සතිය දිනක් අඩු කිරීම මගින් සේවකයාගේ මානසික ආතතිය අඩු කිරීමට, නින්ද වැඩි දියුණු කිරීමට, කායික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට සහ ඵලදායිතාව වැඩි කිරීමට හැකි බව නවතම අධ්‍යයනවලින් හෙළි වී ඇත.

එක්සත් ජනපදයේ බොස්ටන් විද්‍යාලයේ සහ අයර්ලන්තයේ ඩබ්ලින් විශ්ව විද්‍යාලීය විද්‍යාඥයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී, ඉංග්‍රීසි භාෂාව කතා කරන රටවල් හයක ආයතන 141ක සේවකයින් 3000ක් පමණ නිරීක්ෂණය කරන ලදී. සේවකයින්ගේ වැටුප් අඩු කිරීමකින් තොරව සතියකට පැය 8කින් පමණ සේවය අඩු කරන ලදී. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ‘නේචර් හියුමන් බිහේවියර්’ (Nature Human Behaviour) ජර්නලයේ පළ විය. මෙම අධ්‍යයනයට අනුව සේවකයින්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යය යහපත් වී ඇති බවත්, නින්දේ ගැටලු සහ තෙහෙට්ටුව අඩු වී ඇති බවත් අනාවරණය විය. තවද ඔවුන්ගේ කාර්යයන් පවත්වාගෙන යෑමට ද එය උපකාරී වී ඇති බව පෙනී ගියේය.

මෙම අධ්‍යයනයට සහභාගී වූ ආයතනවලින් 90%කටම එහි ප්‍රතිඵල ඉතා සාර්ථක වී ඇති අතර එම ආයතන පරීක්ෂණ කාලය අවසන් වූ පසුව ද අඩු කළ වැඩ කරන වේලාවන් භාවිතා කිරීමට තීරණය කර ඇත.

“අපට ගෝලීය වශයෙන් පෙනී යන ප්‍රවණතාවක් වන්නේ සේවකයින් දැඩි වෙහෙසට, දීර්ඝ කාලයක් වැඩ කිරීමට සහ තමන්ට මෙන්ම තම පවුල් සඳහා ද අඩු කාලයක් ලැබීමට අපොහොසත් වීමයි” යැයි බොස්ටන් විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ආශ්‍රිත මහාචාර්යවරියක වන වෙන් ෆෑන් පවසයි.

විද්‍යාඥයින් විසින් ජර්මනියේ ද මෙවැනිම ආකාරයේ පරීක්ෂණයක් සිදු කරන ලදී. මෙහිදී ස්මාර්ට් ඔරලෝසු මගින් සහභාගිවන්නන්ගේ ආතතිය, ක්‍රියාකාරකම් මට්ටම් සහ නින්ද නිරීක්ෂණය කරන ලදී. හෘද ස්පන්දන වේගය මගින් මනින ලද ආතතිය මට්ටම අඩු කරන ලද වැඩ කරන වේලාවන් සහිත කණ්ඩායමේ සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව සොයා ගන්නා ලදී. “හතර දින වැඩ සතියක් සහිත කණ්ඩායමට බොහෝ දිනවල සැලකිය යුතු තරම් අඩු ආතති මට්ටමක් තිබුණා.” යැයි මෙම අධ්‍යයනයේ ප්‍රධානියා වන ආචාර්ය ජූලියා බැක්මන් පවසයි.

සති අන්තයේ පවා ඔවුන්ගේ ආතති මට්ටම් පූර්ණ කාලීනව වැඩ කරන කණ්ඩායමට වඩා අඩු මට්ටමක පැවතිණි. සෙනසුරාදා දින බොහෝවිට සතියේ වඩාත්ම ආතති සහගත දිනය වූ අතර ඉරිදා දින අඩුම ආතති මට්ටම සහිත දිනය විය. අඩු කළ පැය ගණනක් සහිත කණ්ඩායමේ සාමාජිකයන් වැඩිපුර ඇවිදීමට, ව්‍යායාම කිරීමට සහ සතියකට මිනිත්තු 38ක් පමණ වැඩිපුර නිදා ගැනීමට පෙලඹී ඇත.

මෙම අධ්‍යයනයට අනුව හතර දින වැඩ සතිය සමස්තයක් ලෙස යහපැවැත්මට සහ සෞඛ්‍යයට ඉතා හොඳ බවට වන මතය මෙම පර්යේෂණාත්මක ප්‍රතිඵලවලින් ද සනාථ වී තිබේ. මෙම අධ්‍යයනයේම කොටසක් ලෙස, නිදන්ගත ආතතියට සම්බන්ධ හෝමෝනයක් වන කෝටිසෝල් මැනීම සඳහා සහභාගිවන්නන්ගේ හිසකෙස් සාම්පල ද එකතු කරන ලදී. එහි ප්‍රතිඵල ද මේ වසර අවසානයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි ප්‍රතිඵල ද අනෙකුත් සොයාගැනීම්වලට අනුකූල නම් හතර දින වැඩ සතියක සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා තවත් සාක්ෂි සැපයිය හැකිය.



මෙම පරීක්ෂණයට ජර්මනිය පුරා තොරතුරු තාක්ෂණ ආයතනවල සිට සෞඛ්‍ය සේවා සපයන්නන් දක්වා විවිධ ආයතන 41ක් සම්බන්ධ විය. ඔවුන් සතියකට වැඩ කරන මුළු පැය ගණන අඩු කර ඇති අතර මාසික අතිකාල ද අඩු වී තිබේ. හතර දින වැඩ සතියක් යටතේ ආදායම්වල සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබුණු අතර සේවක ඵලදායිතාව සහ වැඩ කරන මට්ටම ඉහළ ගොස් ඇත. වාර්තාවට අනුව, ආයතනවලින් 73%ක්ම යම් ආකාරයකින් හතර දින වැඩ සතියක් ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇති අතර, සේවකයින්ගෙන් 82%ක්ම එයට ඇලුම් කර ඇත.

එසේනම් සඳුදා සිට සිකුරාදා දක්වා වැඩ සතිය නැති වී යමින් තිබේද? කෙසේ වෙතත්, “මෙම අධ්‍යයනයට අනුව කෙටි සතියක් යම් සහනයක් ගෙන දිය හැකි වුවද, එය ප්‍රමාණවත් නොවන බව ඔහු විශ්වාස කරනවා.” යැයි ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාඥයෙකු වන මහාචාර්ය කැල් නිව්පෝර්ට් පවසයි. “දැනුම ශ්‍රමිකයන්ගේ ප්‍රධාන වෙහෙසට පත්වීමේ ප්‍රභවයන්ගෙන් එකක් වන්නේ අධික ලෙස වැඩ කිරීමයි. ඔවුන් එකවර බොහෝ ව්‍යාපෘති, කාර්යයන් සහ බැඳීම් සමඟ පොරබදිනවා.” යැයි ඔහු තවදුරටත් පැහැදිලි කරයි.

හතර දින වැඩ සතියක් යනු ආතතිය අඩු කිරීමට වක්‍රව උපකාරී වන දෙයක් පමණි. ඒ වෙනුවට වැඩ භාරය සෘජුවම ආමන්ත්‍රණය කිරීම වඩාත් ඵලදායී විසඳුමක් වනු ඇත. හතර දින වැඩ සතියේ ප්‍රතිඵල ඉතා දිරිගන්වන සුළුය. ලොව පුරා සිදු කරන ලද පර්යේෂණ මගින් පෙන්නුම් කරන්නේ, කෙටි වැඩ සති කාර්ය සාධනයට හානියක් නොවන අතරම යහපැවැත්ම වැඩි දියුණු කළ හැකි බවයි. කෙසේ වෙතත්, මෙම නව වැඩසටහන සාර්ථක කර ගැනීමට නම් අපගේ වැඩවලට වැය වන කාලය මෙන්ම වැඩ කරන අපේක්ෂාවන් ද නැවත සලකා බැලීමට සිදු විය හැකිය.
(BBC Science Focus  ඇසුරිනි)



gossiplanka image 1