විදේශිකයන් අතර පවා ප්‍රසිද්ධියට පත් වූ මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ දෙවැනි කඳු මුදුන අධිචිත්ත කලාපයයි. භික්ෂූන් වහන්සේගේ කුටි සහිත එම කලාපයට වැඩම කිරීමට එහි වැඩ වාසය කරන දෙස් විදෙස් භාවනානුයෝගි භික්ෂූන් වහන්සේට කි.මී. 2ක් හෝ දෙකහමාරක දුරක් සහිත අධික බෑවුම් සහිත මාර්ගයක වැඩම කළ යුතුය. ඒ සඳහා ඉංජිනේරු සහායද ඇතිව හැකි අයුරින් ඉදි කරනු ලැබූ පහසුතම මාර්ගය වූයේ ඩක්කුවයි. බොහෝ දෙනා පවසන්නේ මේ ඩක්කුවට වසර 20කට වැඩි බවය.
එදා පරම පූජනීය වූ නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පවා මේ ක්‍රමයට ඉහළට වැඩමවූ අවස්ථාද ඇත. දිනකට දෙතුන් වතාවක් පමණ භාවිතයට ගත් මේ ඩක්කුව පසුගිය 24දා රැයේ ඉහළ කලාපයට භික්ෂූන් වහන්සේ වැඩම කරමින් සිටියදී අනතුරට ලක් වූයේ එහි වැඩ වාසය කරන ලාංකික හිමිවරුන් සිව්නමක් හා රුසියානු, රුමේනියානු හා ඉන්දීය හිමිවරුන් තුන්නමක් ඇතුළු 7නමක් අපවත් කරමිනි.
ඩක්කුව පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි භික්ෂූන් වහන්සේලා 13 දෙනෙකුගෙන් හත් දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. රුසියානු ජාතික ධම්මරක්ඛිත, රුමේනියානු ජාතික ධම්මරංසි, ඉන්දීය ජාතික ධම්මගවේෂී යන විදේශීය හිමිවරුන් සමඟ ශ්‍රී ලාංකික උඩවලවේ සත්තසුමන (41) , නාවලපිටියේ උත්තරානන්ද (41), නුගේගොඩ විපස්සී (27), මල්වානේගම සමිද්ධි හිමිවරු මේ මාරක අනතුරෙන් අපවත්ව සිටිති. අනතුරෙන් බරපතළ තුවාල ලද භික්ෂූන් වහන්සේලා හය දෙනෙකු මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බවද කියති.
“ආරණ්‍ය සේනාසනයේ තියෙන මේ ඩක්කුවෙන් අපේ ස්වාමීන් වහන්සේලා නිතරම ඉහළ පහළට ගමන් කරනවා. ඒක කාටත් පුරුදු ගමනක්. මේ වෙලාවෙත් පුරුදු විදිහටම උන් වහන්සේලා පිරිසක් ඒකට නැඟලා උඩට ගිහින් තියෙනවා. උඩටම ගියාට පසුව නවත්වන තැනට ඔන්න මෙන්න තියලා ඩක්කුව එක පාරටම නැවතිලා ආපසු පහළට එන්න පටන් අරන් තියෙනවා. මුලින් හෙමිහිට ආව ඩක්කුව ඊට පස්සේ නවත්තාගන්න බැරි වේගයෙන් පහළට ඇවිත් කඩාගෙන ගිහින් තමයි මේ අනතුර වෙලා තියෙන්නේ…” ඒ, මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ වෙසෙන පාදුක්කේ සද්ධාසිරි හිමියෝය.
“රාත්‍රී නවය හමාරට පමණ ආරණ්‍ය සේනාසනයේ ඩක්කුව තියෙන පැත්තෙන් බෝම්බයක් පුපුරනවා වාගේ විශාල ශබ්දයක් ඇහුණා. ඒ සමඟම මට පණිවිඩයක් ආවා සේනාසනයේ ඩක්කුව පෙරළිලා ලොකු අනතුරක් වෙලා කියලා. මම තවත් හිමිවරුන් කීප දෙනෙකුත් එක්ක ඉක්මනින් ඒ ස්ථානයට ගියා. රාත්‍රියේ අධික කළුවරේ වුණත් විශාල අනතුරක් වෙලා කියලා මම දැක්කා…”
අනතුරෙන් පසු එම ස්ථානයට පළමුවෙන් ගිය පිරිසේ සිටි නාඋයන ප්රදේශවාසියකු වන අසංක සිරිවර්ධන කියා සිටියේ එම අවස්ථාවේ එහි සිටි කීප දෙනා එක්ව ටෝච් එළියෙන් සහ ඩක්කුව ක්‍රියාත්මක කරන ස්ථානයේ තිබූ පහන් කණුවේ ආලෝකයෙන් පහළ කැලයට වැටී තුවාල ලබා සිටි භික්ෂූන් වහන්සේලා පිරිස මාර්ගයට ගෙන රෝහල් කරා යැවීමට පියවර ගත් බවයි.
“සමහර ස්වාමීන් වහන්සේලා වැටිලා හිටිය තැන් කැලෑව ඇතුළේ අපි හොයාගත්තෙත් හරිම අමාරුවෙන්. කීප දෙනෙක්ම වැටිලා හිටිය තැන්වලම අපවත් වෙලා ඉන්නවා දැක්කා. ඒ අයට වෙලා තිබුණු තුවාල කියන්නත් බැරි තරම්. ඩක්කුව සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා කෑලි හැම තැනම විසිරිලා වගේ තිබුණේ. හිතාගන්නවත් බැරි විනාශකාරි දෙයක් සිද්ධ වෙලා තිබුණේ. හරිම කනගාටුදායකයි භාවනානුයෝගි ස්වාමීන් වහන්සේලා පිරිසකට මේ වෙච්චි විපත ගැන…” යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වනවාසීව භාවනාවේ යෙදෙමින් වැඩ වසන භික්ෂූන් වහන්සේ සෑම දිනකම සවස් වරුවේ තම භාවනා කුටිවලින් නික්ම පහළින් ඇති ආරණ්‍ය සේනාසනයේ නාහිමියන් වෙසෙන කුටියට පැමිණ උන් වහන්සේ සමඟ ධර්ම සාකච්ඡා ආදියෙහි යෙදෙමින් සිට රාත්‍රී 9.00ට පමණ ආපසු තම කුටි කරා වැඩම කිරීම සුපුරුදු දින චර්යාවක් බවද සිරිවර්ධන පැවසීය.
ඒ අනුව බදාදා සවස් වරුවේද පහත මාලයේ කටයුතු පැවැත්විණි. ඊට භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් එක්ව සිටියහ. ඒ කටයුතු අවසන් වී, ඉහළ පිහිටි කුටිවලට වැඩම කිරීමට භික්ෂූන් වහන්සේ කණ්ඩායම් තුනක් වශයෙන් සූදානම් වූහ. මුල් කණ්ඩායම් දෙක පහසුවෙන් ඉහළට වැඩම කරවූයේ කිසිදු ගැටලුවකින් තොරවය. අවසන් කණ්ඩායම භික්ෂූන් වහන්සේ 13 නමකගෙන් යුතු විය.
ඩක්කුවේ මාර්ග පද්ධතිය ආසන්නයේම සිමෙන්තියෙන් තැනූ පඩිපෙළක් තිබුණද එහි ගමන් කිරීම සිරීපාදයේ මහගිරිදඹ නඟින්නා හා සමාන ඉතා වෙහෙසකාරි ක්‍රියාවක් බව දුටු සැණින් ඕනෑම කෙනෙකුට හැඟෙන දෙයකි. කෙසේ වෙතත්, ඩක්කුවේම සඳහන් ව ඇත්තේ එහි යා හැකි උපරිම බර කි.ග්‍රෑ. 500ක් බවයි. ඒ, සාමාන්‍යෙයන් 6 දෙනකුට පමණ සරි වන බර ප්රමාණයකි. එහෙත් එදින එහි භික්ෂූන් වහන්සේ 13 නමක් ගමන් කර ඇති බැවින්, දැරිය නොහැකි බර හේතුවෙන් ඩක්කුව ආපසු වේගයෙන් පහළට ගමන් කිරීමෙන් මේ මාරක අනතුර සිදු වන්නට ඇති බව පොල්පිතිගම පොලීසිය සඳහන් කළේය. ඩක්කුවට සවි කර ඇති යකඩ කේබල් කැඩී යෑමෙන් අනතුරට හේතුව බව නිරීක්ෂණය වී තිබේ.
මේ අතර, එදින දහවල්ද මේ ඩක්කුවෙන් ඉහළ ඉදිකිරීම් කටයුතු සඳහා ගල්වැලි ප්‍රවාහනය කරමින් සිටියදී එය ක්‍රියාවිරහිත වූ බවත්, එහි ගමන් කරමින් සිටි කම්කරුවන් දෙදෙනකු ඉන් පැන බේරී ඇති බවත් වාර්තා විය. කෙසේ වුවද ඒ අවස්ථාවේදී ඩක්කුව ක්‍රියාවිරහිත වූ ස්ථානයේම නැවතීම හේතුවෙන් අනතුරට ලක්ව නැති බවද කියති.
අධික ආනතියක් සහිත බෑවුමක් ඔස්සේ යකඩ පීලි මත සකසා ඇති එම ඩක්කුව එය ගමන් ආරම්භ කරන ස්ථානයෙනුත් පහළට මීටර් 100ක් පමණ දුරකට ගොස් නැවතී තිබෙන ආකාරය දැකගත හැකිය. අනතුරෙන් ඩක්කුව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.
වනයේ ඇති ගස්වැල්වල වැදීමෙන් බරපතළ තුවාල ලද භික්ෂූන් වහන්සේ දෙනමක් ඒ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි පැවසේ. අනතුර දැනගත් එහි සිටි අනෙකුත් වනවාසී භික්ෂූන් වහන්සේ සහ ප්‍රදේශයේ ජනතාව එක්ව තුවාලකරුවන් පොල්ගොල්ල දිසා රෝහලට සහ කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී අනෙක් භික්ෂූන් වහන්සේ පිරිස අපවත්ව ඇත.
වර්ෂ 1920 දී පමණ ආරම්භ කරන්නට ඇතැයි සැලකෙන මෙම ආරණ්‍ය සේනාසනය ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම නිකායට අනුබද්ධ ආරණ්‍යය සේනාසනයකි. ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම ආරණ්‍යය සේනාසනය ලෙස මෙය සැලකේ. එගොඩ බෝධිරක්ඛිත හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක ලෙස පැවිදි දිවියට පත් ඒ ආසන්නයේම පිහිටි ඉමිහාමිනේගම උපන් නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ මේ ආරණ්‍ය සේනාසනය වැඩිදියුණු කළ හිමි ලෙස සැලකෙති.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර පන්සියගම ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති නා උයන ආරණ්‍ය සේනාසනය දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ ඉමහත් භක්තියට ලක්වූ විදේශ මට්ටමෙන් පිළිගැනීමකට ලක් වූ ආරණ්‍ය සේනාසනයකි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ ඇති විශාලතම ආරණ්‍ය සේනාසනය වශයෙන් සැලකෙන මෙය සුන්දර කරනම්පොත කඳුවැටියේ පිහිටා ඇත.
මෙය අක්කර 5,000කට ආසන්න විශාල භූමියක පැතිර පවතින සුවිසල් භාවනා මධ්‍යස්ථානයකි. පන්සියගම ප්‍රදේශය කුරුණෑගල දිස්ත්‍රික්කයේ වියළි කලාපීය දේශගුණයකට උරුමකම් කීවද මෙම ආරණ්‍ය සේනාසනයේ ඉහළට යන විට ඇත්තේ නුවරඑළියේ ශීතල දේශගුණයට සමාන අපූරු පරිසර පද්ධතියකි. මේ වන විට මෙහි දේශීයව මෙන්ම චීනය, තායිලන්තය, මියැන්මාරය, ලාඕසය, කාම්බෝජය, ඉන්දියාව, එංගලන්තය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම වැනි විදෙස් රටවලින් පවා පැමිණි 150කට ආසන්න විදේශීය භික්ෂූන් වහන්සේලාද භාවනානුයෝගිව සිටිති. මේ වන විට නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගිව වෙසෙන සමස්ත භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව 350කට ආසන්න බව පැවසේ. දෙස් විදෙස් දානපතියන් මෙහි සියලු කටයුතු පවත්වාගෙන යෑම සඳහා ආධාර උපකාර කරන බවද පැවසේ.
නාඋයන ආරණ්‍ය සේනාසනය මෙරට මෙන්ම විදෙස් රටවලද ඉතා ප්‍රසිද්ධ වූයේ අරියධම්ම නාහිමියන් නිසාය. මීට වසර 10කට පමණ ඉහතදී අපවත් වන විට උන්වහන්සේ වයස අවුරුදු 78කි. අඟුල්ගමුවේ අරියනන්ද නාහිමියෝ මෙම සේනාසනයේ වත්මන් නායකත්වය දරති. නා උයන ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ මෙහෙණින් වහන්සේ වෙසෙන ධම්මිකා ආශ්‍රමය ඒ ආසන්නයේ තවත් සුන්දර පරිසරයක පිහිටා තිබේ. මඩහපොල ධර්මායතනය නම් භික්ෂු පුහුණු මධ්‍යස්ථානයද මීට අයත් වූවකි.
මෙහි ඉහළ කඳු මුදුනේද භාවන කුටි රැසක් තිබෙන අතර එම ස්ථානයට ගමන් කිරීමට තිබෙන දුෂ්කරතාව මත ගමන් පහසුව සඳහා යකඩ කේබල් යොදා සකසන ලද ඩක්කුවක් ක්‍රියාත්මක කර තිබී ඇත. ඉහළ කඳු කොටසේ ඉදි කෙරෙන භාවනා කුටි ඉදිකිරීමට අවශ්‍ය ගල් වැලි ප්‍රවාහනය මෙන්ම ඉහළ කොටසේ භාවනානුයෝගිව වෙසෙන භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහාද මේ ඩක්කුව භාවිත කර තිබේ.
මීට වසර 20කට පමණ ඉහත මේ ඩක්කුව ඉදි කර තිබෙන අතර මෙය නිසි නඩත්තුවකට ලක් නොවීමෙන් සහ දැරිය නොහැකි බරක් ප්‍රවාහනය කිරීමට සිදු වීමෙන් මේ අවාසනාවන්ත සිද්ධිය වන්නට ඇති බවට පොලීසිය සැක කරයි. එසේම මෙය ඉහළ ඉදිකිරීම් කටයුතු සඳහා ගල් වැලි රැගෙන යාම හේතුවෙන්ද එහි ඇති යකඩ කේබල්වලට හානි සිදුව තිබෙන්නට ඇති බවටද සැක කරයි. මෙම ඩක්කුවේ දැරිය හැකි බර පැහැදිලිව සඳහන් කර ඇති මුත් ඒ අවවාද බොහෝ විට නොතකා ගමන් පහසුව ගැන පමණක් අවධානය යොමු කර ඇති බව සැල වේ.
එය අනාරක්ෂිත ගමනක් බව මේ භික්ෂූන් වහන්සේලාට නොදැනෙන්නට ඇත. නැති නම් ඒ පිළිබඳ දන්නා කෙනෙක් පැහැදිලි කර දීමක්ද සිදු කර නැති බව පැහැදිලිය. මෙම ඩක්කුව ඉදි කර වසර ගණනාවක් ගත වුවද එය විටින් විට අලුත්වැඩියා කිරීම් සිදු කර ඇත්ද යන්න ප්රශ්නයකි. ඩක්කුව කැඩී යෑම පිටුපස විසඳාගත යුතු කරුණු ගණනාවකි. මෙතැන් සිට ඒ පිළිබඳවද අවධානය යොමු කළ යුතු අතර ඉදිරියේදි නාඋයන සේනාසනයේ ඉහළ කඳු මුදුනට භික්ෂූන් වහන්සේලා වැඩම කරවීමට පහසු මාර්ගයක් විවර විය යුතුය.
මහව මහේස්ත්‍රාත් එස්.එම්.ඒ.ජී. සෙනෙවිරත්න මෙණෙවිය සිද්ධිය වූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කොට මරණ පරීක්ෂණ පැවැත්වූ අතර රෝහල්වල තබා ඇති මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යැවීමටද මහේස්ත්‍රාත්වරිය නියම කළාය. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද අනතුර සිදුව තිබූ ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු සඳහා නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාල්ලගේ සහ පන්සියගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසුන්දර මහත්වරුන්ට උපදෙස් දුන්නේය. වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අනතුරෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ දැකගැනීමට ගොස් සුවදුක් විමසා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගත්තේය.
(පුෂ්පකුමාර ජයරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval