තමන් සතුව පෞද්ගලික දේපළ කිසිවක් නොමැති බවත්, ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානය පවා සිය පුද්ගලික දේපළක් නොවන බවත් එම පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව හෙළි කළේ මව්බිම පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස, පක්ෂය සතු සියලු දේපළවල වගකීම මධ්‍යම කාරක සභාව වෙනුවෙන් තමාට පැවරී ඇති බව ටිල්වින් සිල්වා එහිදී පැහැදිලි කළේය. පක්ෂයට අයත් සියලු වාහන, ඉඩම් සහ වෙනත් දේපළ 'ප්‍රධාන ලේකම් තනතුරේ නමට' ලියාපදිංචි කර ඇති බවත්, හෙට දිනයේ වෙනත් අයකු ප්‍රධාන ලේකම් ධුරයට පත් වුවහොත් එම වගකීම ඔහුට පැවරෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම දේපළ ලැබුණේ කෙසේදැයි විමසූ විට, සමහර දේපළ තෑගි ලැබුණු බවත්, තවත් සමහරක් මුදල් එකතු කරලා හොයාගත්ත ඒවා බවත් ඔහු කියා සිටියේය. මීට අමතරව ඇතැම් දේපළ මන්ත්‍රී අරමුදල් යොදාගෙන ලබාගත් ඒවා බවද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
පක්ෂයේ සාමාජිකයන් සහ හිතවතුන් කිසිදු ආත්මාර්ථකාමී අරමුණකින් තොරව පක්ෂයට උදව් කරන බව ටිල්වින් සිල්වා වැඩිදුරටත් කියා සිටියේය. ඇතැම් අවස්ථාවලදී පක්ෂයේ ගමන්බිමන් සඳහා ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට සාමාජිකයන් මුදල් හෝ ද්‍රව්‍ය ලබා දෙන බවද ඔහු පැවසීය.
වසන්ත සමරසිංහ වැනි නායකයන්ට මුදල් සහ දේපළ ලබා දුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, එම මුදල් ලබා දෙන්නේ පුද්ගලිකව ඔවුන්ට නොව, පක්ෂයේ ගමන්බිමන් සඳහා බව සිල්වා මහතා පැහැදිලි කළේය.
මෙම ක්‍රියාකාරකම් මානුෂීයත්වයේ සංස්කෘතියක් බවත්, ආත්මාර්ථකාමීව සියල්ල තනිව අත්පත් කරගැනීම මානුෂීයත්වයට පටහැනි බවත් ඔහු අවධාරණය කළේය. විපක්ෂය මෙම කරුණු ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බවද ටිල්වින් සිල්වා පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval