the-day-namal-rajapaksa-becomes-the-president-of-this-country-i-will-be-the-unofficial-president-of-this-country-tissakutti

පොදුජන පෙරමුණේ දේශපාලනඥ හා හිටපු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මහතා අනුරාධපුර සිය පාක්ෂිකයින් සමග පැවති රැස්වීමකදී කළ කථාවක් මෙසේය.



 "දැන් රටේ අලුත්ම දේශපාලන තත්ත්වය බලන්න. 'විස්සයි විස්ස' (2020) ගැන නොවෙයි දැන් කතාව. රට පුරා 'නාමල් රාජපක්ෂ ජනාධිපති' කියන අමුතු රැල්ලක් නිර්මාණය වෙමින් පවතිනවා. එය නාමල් රාජපක්ෂ මහතාටවත්, අපටවත් හිතාගන්න බැරි තරමේ රැල්ලක්. අද වෙනකොට මේ රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතා යැයි කවුරුවත් කතා කරන්නේ නැහැ. අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන කතා වුණත්, එය හෙට, ලබන සතියේ, නැත්නම් ලබන මාසයේ සිදු වේදැයි අපි දන්නේ නැහැ. නමුත් වත්මන් ජනාධිපතිතුමාගේ ධුර කාලය අවසන් වන්නේ කවදාද, ඔහුට ජනාධිපතිකම නැතිවෙන්නේ කවදාද කියන එකට වඩා, නාමල් රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වන බවට පැහැදිලි කතිකාවක් ගොඩනැගී තිබෙනවා.



පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, රොත්ත පිටින් අපිව දාලා ගියා. පක්ෂ කාර්යාලවල ලිපිගොනු ටිකවත් ඉතිරි වුණේ නැහැ. නීතිඥවරු, කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපාරිකයන්, සතයක්වත් නැතිව අපිව දාලා ගියා. අන්තිමට තිස්ස කුට්ටිආරච්චි වගේ කිහිප දෙනෙක් විතරයි අනුරාධපුරයේ ඉතිරි වුණේ.

කලාවැව ආසනය ගැන කතා කළොත්, චන්ද්‍රසේන ඇමැතිතුමාට කවුරු ඇවිත් ඉල්ලුවත්, මිහිඳු හාමුදුරුවෝ ඇවිත් ඉල්ලුවත්, මම මේ දිස්ත්‍රික්කයේ නායකයා ලෙස ඉන්න තාක්, ගාමිණී මාමාගෙන් තොරව වෙන කිසිවෙකුට සංවිධායකකම් දෙන්නේ නැහැ කියලා මම කිව්වා. මොකද, නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙන දවසට, මම තමයි මේ රටේ නිල නොලත් ජනාධිපති. මම එයාගේ ළඟම මිත්‍රයා සහ හිතවතා. ඒ නිසා අනුරාධපුර දිස්ත්‍රික්කය ලංකාවේ වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරවීමේ වගකීම මට තිබෙනවා. අනුරාධපුරයේ ජනතාව එතුමාට සැලකුවා, දැන් අපි ඒ ජනතාවට සලකන්න ඕන.



අවසාන වශයෙන්, මතක තියාගන්න, නාමල් රාජපක්ෂ මාව කොහේවත් ඉඳලා ගෙනල්ලා අනුරාධපුරයට දැම්මේ නැහැ. 2020 ජනාධිපතිවරණයෙන් පසුව, මම තමයි නාමල් රාජපක්ෂගේ ළඟම මිත්‍රයා. ඒ නිසා මගෙන් වැඩක් වෙන්න ඕන නම්, ඔබත් වැඩ කරන්න ඕන. සංවිධායකවරු වැඩ කරන්න. සංවිධායකවරුන්ට බැරි නම්, වැඳලා කියන්නේ, කරුණාකරලා ඒ බව කියන්න. අපි ඊළඟ තරගයට වැඩ කරන්න පුළුවන් කෙනෙකුට ඒ අවස්ථාව ලබා දෙන්නම්. අපි තවම ප්‍රසිද්ධ වේදිකාවල කට ඇරියේ නැහැ. එදාට අපි කට ඇරියම, හැමදේම එළියට එයි."