පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ඇමති ආනන්ද විජේපාල අතර අද (25) පාර්ලිමේන්තුවේදී ඇතිවූ සංවාදය පහත පරිදිය
[නාමල් රාජපක්ෂ]
මට පෙර කතා කරපු අපේ මන්ත්‍රීතුමා සඳහන් කළා මේ හැම දෙයක්ම ඉලක්කයන් පන්නලා කියලා. ඔව්, ඉලක්කයන් කෙසේ වෙතත් කන්ටේනර් නම් පන්නලා තියෙනවා. තාම තියෙන තැනක් හොයාගන්නත් බැහැ. පැළ පන්නපු කෙනා හොයා ගත්තම තියෙන තැන හොයාගන්න පුළුවන්.
ඔව්, දැන් ඔබතුමන්ලා කියනවා අපි තමයි වරායෙන් කන්ටේනර් පන්නන්නේ කියලා. ඔබලාගේ ආණ්ඩුව, ඇමතිවරයා, ජනාධිපතිවරයා, අගමැතිවරයා ඉන්නකොට, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපිද පන්නන්නේ? මේ ආණ්ඩුවෙන් වැඩක් තියෙනවද?
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ රටේ කයිවාරු ගහපු ආණ්ඩු අතරින්, වැඩිපුරම බොරු කියලා ජනතාව මුළා කරපු ආණ්ඩුව බවට ඔබ තමුන්නාන්සේලා පත්වෙලා තියෙනවා. ඔබ තමුන්නාන්සේලා කයිවාරු ආණ්ඩුවක් පමණක් නෙවෙයි, දැන් ඔබ තමුන්නාන්සේලා 'කුඩු ආණ්ඩුවක්' බවට පත් වේගෙන යනවා.
මොකක්ද කරන්නේ? තමන්ගේ වැරැද්ද වහගන්න වෙන කෙනෙක් පිට පටවනවා. තමන් අර 'පික්පොකට් න්‍යාය' අනුගමනය කරනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පික්පොකට්කාරයෝ පික්පොකට් ගහලා පාරේ දුවන්නේ "මෙන්න හොරෙක්" කියලා කෑ ගහගෙන. ඒ වගේ ඔබතුමාලාත් කාලයක් "හොරා හොරා" කියන්න පටන් ගත්තා. හැබැයි මොකක්ද වුණේ? කාලයක් ගියා, ඔබ තමුන්නාන්සේලා දූෂණ මර්දන කමිටුවේ වාඩි වුණා. අවුරුදු පහක් හිටියා. දැන් ආණ්ඩුවක් කරගෙන ඉන්නවා. දැන් ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් ඉන්නවා. එක ප්‍රශ්නයක් ඉවරවෙනකොට දැන් කුඩු ප්‍රශ්නයට ඇවිල්ලා තියෙනවා.
මත්ද්‍රව්‍ය අල්ලන්න බලනවා විතරක් නෙවෙයි, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒක පිටිපස්සේ ඉන්න අයව හෙළිකරන්න. තමන්ගේ ආණ්ඩුවට මුවා වෙලා, රාජ්‍ය රැකවරණය ලබන මිනිස්සු ආරක්ෂා කරන්න ලෑස්ති වෙන්න එපා. ආණ්ඩුවේ ආරක්ෂාව පතාගෙන කටයුතු කරන අයව ආරක්ෂා කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබතුමාලා අද අපිට ඇඟිල්ල දික් කරනවා. මතක තියාගන්න, ඔබතුමාලාගේ පැත්තට ඇඟිලි හතරක් දික් වෙලා තියෙනවා.
ජාත්‍යන්තර බුද්ධි අංශ වාර්තා ලැබෙනවා. UNODC (United Nations Office on Drugs and Crime) එක මොකක්ද කියන්නේ? වරායට ආපු කන්ටේනර් දෙකක මත්ද්‍රව්‍ය තියෙනවා කියලා ඒ රටවලින් අපට තොරතුරක් දීලා තියෙනවා කියලා ඔවුන් කියනවා. ඔබතුමාලාගේ ආණ්ඩුව මොකක්ද කරන්නේ? මේ මම නෙවෙයි කියන්නේ, මේ කස්ටම් එකේ ප්‍රධානියා කියන කතාව. නාකොටික් අංශයත්, කස්ටම් එකත් එකතු වෙලා, චෙක් කරන්න කියලා කියපු කන්ටේනර් දෙකක් තියෙනවාලු මත්ද්‍රව්‍ය තියෙන. දැන් චෙක් නොකරපු කන්ටේනර් 332ක් ගැනත් කියවෙනවා. චෙක් නොකර ආපු කන්ටේනර් 332 ගැන කතා කරපු අර්ජුන මන්ත්‍රීතුමාව CID එකට ගෙනිච්චා. හැබැයි පහු කාලීනව මත්ද්‍රව්‍ය තියෙනවා කියලා හොයා ගත්තට පස්සේ ඔබ තමුන්නාන්සේලා ගත්තු පියවර මොකක්ද?
[ආනන්ද විජේපාල]
හරි, හරි. ඔහොම ඉන්න. පිටිපස්ස බලාගෙන ඉන්න. පිටිපස්සෙම තමයි යන්න වෙන්නේ, බලාගෙන ඉන්න. ඔය ඔබතුමාලාගේ දේශපාලනය... ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙයාලා හිතන් ඉන්නවා මෙයාලගේ අර පරණ ක්‍රමයට මේ රටේ දේශපාලනය කරන්න පුළුවන් කියලා. ඒ කාලේ ඉවරයි. දැන්වත් ඔබ තමුන්නාන්සේලා තේරුම් ගන්න. දැන් ඔබතුමාලාගේ ආණ්ඩුව තියාගෙන, ඔබතුමාලාගේ වරායෙන් පනින කන්ටේනර් එකටත් අපිට බනිනවා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, බුද්ධි අංශ වාර්තාවක් ඇවිල්ලා තියෙද්දී ඇයි මේ කන්ටේනර් ටික අත්අඩංගුවට ගත්තේ නැත්තේ? මතක තියාගන්න, ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාලා මේ පිටිපස්සේ පේළියේ වාඩිවෙලා ඉන්නවා. හැබැයි ඔබතුමාලාගේ ආණ්ඩුව ඉහළ තනතුරුවලට පත් කරපු අය ඉන්නවා, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පාස්කු දා ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා මඟහැරපු අය. ඒ අය තමයි ඔබතුමාලාගේ ආණ්ඩුවේ බලවත් පුද්ගලයින් විදියට ඉහළ පුටුවල වාඩි වෙලා ඉන්නේ. ඒ අය අදත් මොකද කරන්නේ? ඒ අය අදත් බුද්ධි අංශ වාර්තා මඟහරිනවා. බුද්ධි අංශ වාර්තාවලට අනුව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඇයි ඒ? ඒ ගැන ඔබතුමාලා හොයන්න ඕන.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙතුමන්ලා මේ කතා කරන නිසා කියන්නේ, පසුගිය කාල සීමාව තුළ, දේශපාලනික වශයෙන් පහුගිය ආණ්ඩුව එක්ක ඔබතුමාලාට ප්‍රශ්න තියෙන්න ඇති. හැබැයි අර 'යුක්තිය' මෙහෙයුම කාලේ, මේ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න පටන්ගත්තා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒ අනුව 2023 දෙසැම්බර් මාසයේ සිට මාස 8ක කාලයක් තුළ, ඔබතුමාලාගේ ආණ්ඩුව පත්වෙන්න මාස 8කට කලින්, ගොඩබිමෙන් (මුහුදෙන් නෙවෙයි, මේ ගොඩබිමෙන්) හෙරොයින් කිලෝ 423ක් සහ අයිස් කිලෝ 449ක් අත්අඩංගුවට ගත්තා. මුහුදෙන් අත්අඩංගුවට ගත්තු ප්‍රමාණයන් ගැන කියනවා නම්, ගරු කථානායකතුමනි, මේ කාරණය මම සභාගත කරනවා. 2020 ඉඳන් 2024 දක්වා මහ මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට අරන් තියෙනවා:
2020: හෙරොයින් සහ අයිස් කිලෝ 1500
2021: කිලෝ 1450
2022: කිලෝ 1490
2023: කිලෝ 720
2024: කිලෝ 900
ගරු ඇමතිතුමනි, ඔබතුමාගේ ආණ්ඩුව කාලසීමාව තුළ නාවික හමුදාව ශක්තිමත් කරලා මහ මුහුදේ දී මේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න ඔබතුමාලා ගත්තු ක්‍රියාමාර්ග පිළිබඳවත් මේ රටේ ජනතාව දැනුවත් කරන්න.
පහුගිය දවස්වල, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දර්ශන සංජීව 'ඩේලි මිරර්' පුවත්පතට වාර්තාවක් ලියනවා. 'Sri Lanka Navy struggles' (ශ්‍රී ලංකා නාවික හමුදාව අභියෝගයක) කියන මාධ්‍යයේ පළවෙච්ච ඒ වාර්තාව මම සභාගත කරනවා. මේකේ පැහැදිලිවම සඳහන් වෙනවා අපේ රටේ නාවික හමුදාව 'outdated technology' (යල් පැන ගිය තාක්ෂණය) එක්ක අභියෝගයකට මුහුණ දෙන බව. ඒ වගේම ඔබතුමාලා එකඟ වෙලා තියෙනවා 2030 වෙනකොට හතළිස් දහසකින් නාවික හමුදාව අඩු කරන්න. හැබැයි තාක්ෂණයත් එක්ක ඒකාබද්ධ නොවී ඒක ප්‍රායෝගික නෑ. ඔබතුමාලා මොකක්ද කළේ? හිටපු නාවික හමුදාපතිවරයාව ගෙනල්ලා හිරේ දැම්මා. අනෙක් පැත්තෙන් බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැම්මා. එහෙම කරලා ඔබතුමාලා බලාපොරොත්තු වෙනවාද නාවික හමුදාව මේ රටේ මුහුද ආරක්ෂා කරයි කියලා? ඒ අයට අවශ්‍ය තාක්ෂණික දැනුම දෙන්නෙත් නැත්නම්, ඒ අයට අවශ්‍ය අනෙක් දේවල් දෙන්නෙත් නැත්නම්, නියෝජ්‍ය කථානායකතුමනි, එතැනින් එහාට මේ මහ මුහුද ආරක්ෂා කිරීම පිළිබඳව ගැටලුවක් තියෙනවා නේද?
ඔබතුමාලා කරුණාකරලා මේ ගැන අවධානය යොමු කරන්න. මේක නිකම්ම දේශපාලන වේදිකාවේ මාතෘකාවක් කරගෙන අපිට ඇඟිල්ල දිගු කරන්න එපා. ඔබතුමාලා පාස්කු දා ප්‍රහාරයටත් ඕකමනේ කෙරුවේ. පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ වුණු කෙනාගේ දරුවෝ දෙන්නෙක් ඔබතුමාලාගේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙක් වෙලා හිටියා. අද ඔබතුමාලා මොකක්ද කළේ? ඔබතුමාලාගේ ජාතික ලැයිස්තු අපේක්ෂකයාගේ දරුවෝ දෙන්නා ගෝඨාභය දිනවන්න මරාගෙන මැරුණා කියලා කියනවා.
[නාමල් රාජපක්ෂ]
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒකේ ප්‍රධාන වගකීම් පැහැර හැරපු කණ්ඩායමට දඬුවම් ලැබුණද? අතිගරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයට වන්දි ගෙවන්න සිද්ධ වුණා. හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පතිවරයා හිරේ ගියා. හැබැයි වගකීම් පැහැර හැරපු, හිරේ නොගිය අයට මොකද කළේ? ඔබලාගේ ආණ්ඩුවේ ප්‍රධාන තනතුරුවලට පත්කළා. ඒ අයම තමයි අදත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලැබෙන කොට ඒවාට ක්‍රියාත්මක නොවන්නේ.
පොලීසිය භාර ඇමතිවරයා විදියට ඔබතුමා උත්තරයක් දෙන්න. නාකොටික් අංශයයි, කස්ටම් එකයි මේ කන්ටේනර් දෙක චෙක් කිරීම පස්සට දැම්මා කියලා කියනවා. ඒ පිළිබඳ රජයේ ස්ථාවරය මොකක්ද? චෙක් කරලා යැව්වා නම්, ඒ චෙක් කරනකොට මේවායේ මත්ද්‍රව්‍ය තිබුණා කියලා ඔබතුමාලා දැනගත්තේ නැද්ද? දැනගත්තා නම්, කවුද මේ කන්ටේනර් දෙක සහ 332 එළියට දැම්මේ? ඒ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා වගකීම භාරගත්තා. අද එතුමාගෙන් කටඋත්තරයක්වත් ලියාගෙන නෑ පොලීසියෙන්, ඇයි මේක එළියට දැම්මේ කියලා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා පත් කරපු වාර්තාවේම පැහැදිලිවම සඳහන් වෙනවා මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා. ඔබතුමාලාගේ ආණ්ඩුව ඒ පරීක්ෂණය ආරම්භ කළෙත් නෑ. ඒ වාර්තාව සම්පූර්ණයෙන් සභාගත කරලත් නෑ. අඩුගානේ පරීක්ෂණයක්වත් කළා නම්, නියෝජ්‍ය කථානායකතුමනි, අර කන්ටේනර් 132 තියෙන තැන දන්නවා කියපු නියෝජ්‍ය ඇමතිවරයාව අල්ලගන්න පුළුවන්.
අනිත් පැත්තෙන්, අර කන්ටේනර් දෙක සම්බන්ධයෙන් ඔබතුමාලා ක්‍රියාත්මක වුණේ කොහොමද? පහුගිය දවසේ මම දැක්කා ඔබතුමාලා තංගල්ලෙනුත් තව මත්ද්‍රව්‍ය තොගයක් අල්ලලා. ඒක බුද්ධි අංශ තොරතුරකින් නෙවෙයි. ඉස්පිරිතාලෙට ඇතුළත් වෙච්ච කෙනෙක්ගේ කටඋත්තරයක් පදනම් කරගෙන ගිහින් කරපු වැටලීමක්. නිකමට හරි ඒක බුද්ධි අංශ වාර්තාවකින් ආවා නම්, නියෝජ්‍ය කථානායකතුමනි, ඒකත් යට ගහනවා. ඒ නිසා ඔබතුමාලා අපි එක්ක තියෙන ප්‍රශ්න වෙනම බේරගන්න. හැබැයි මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හෝ සංවිධානාත්මක අපරාධකරුවන්ට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්න එපා.
ඔබ අපිට චෝදනා කරනකොට මතක තියාගන්න, මේවායේ පිටිපස්සේ ඉන්න සැබෑ ජාවාරම්කරුවන්, මේ චෝදනා අපේ පිට දාලා ඔවුන් නිදහස් වෙන්න උත්සාහ කරනවා.
අවසාන වශයෙන්, ගරු අමාත්‍යතුමනි, ඔබතුමා හොඳ වැඩක් කළා පහුගිය කාලේ අතිගරු ජනාධිපතිතුමා පොලීසියට උසස්වීම් ටික දුන්නා. අවුරුදු දහයකට සේවා කාලය තිබිච්ච අයට. හැබැයි ගරු ඇමතිතුමනි, STF එකට ඒක ලැබිලා නෑ. ඉතින් ඔබතුමාගේ අවධානය යොමු කරන්න, මොකද මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ මැඩලන්න මේ රටේ ඉදිරියෙන්ම ඉන්නේ STF එක. ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා.
ඒ වගේම, දැන් උතුරට වර්ෂාව ලැබෙන කාල සීමාව. ඉදිරි කාලය තුළ උතුරු පළාතේ වර්ෂාව පටන් ගන්නවා. දරුවන්ට විභාගවලට යෑමේ ගැටලුවක් තියෙනවා. පහුගිය කාලෙත් අපි මේ ගැන කතා කළා. වැස්ස වැහැලා, ගංවතුර ගැලුවට පස්සේ තමයි ළමයින්ව පන්තිවලට එක්කගෙන යන්න කටයුතු කරන්නේ. දැන්වත්, මේ ව්‍යසනය එන බව අපි දන්නවා. උතුරට මේ කාලයට අධික වර්ෂාපතනයක් ලැබෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා නැතත්, මේකට අවධානය යොමු කරලා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ට ඒ කටයුතු කරගන්න අවශ්‍ය අවස්ථාව හදලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
[ආනන්ද විජේපාල]
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි කිසි විටකත් හමුදා නිලධාරීන් හෝ වෙනත් කිසිවෙක් පොලීසිය මඟින් නිකරුණේ අත්අඩංගුවට අරන් නෑ. යම් අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා නම්, ඒ සියලුම අත්අඩංගුවට ගැනීම් සිද්ධ වෙලා තියෙන්නේ අධිකරණ නියෝග අනුව. ඒ නිසා මම හිතන්නේ නාමල් මන්ත්‍රීතුමා කියපු කතාව ඇත්තක් නෙවෙයි. ඒක බොරු කතාවක්. හිටපු නාවික හමුදාපතිවරයා බුද්ධි අංශවල ඉන්නකොට කරපු යම් ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් අනුව තමයි අත්අඩංගුවට පත්වුණේ.
ඒ වගේම, කන්ටේනර් සම්බන්ධයෙන් ලැබෙන සෑම පැමිණිල්ලක් ගැනම අපි පූර්ණ විමර්ශණයක් සිදු කරනවා. රජයට ඇඟිල්ල දික් කරන්න උත්සාහ කළා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. කවුරුත් දන්නවා පොහොට්ටුවේ සම්පත් මනම්පේරි මන්ත්‍රීවරයා මේකට සම්බන්ධයි කියලා, ඔහු දැන් අත්අඩංගුවේ ඉන්නේ. ඔහු ජොන්ස්ටන් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා. ඕනෑ තරම් මත්ද්‍රව්‍යවලට සම්බන්ධතා තියෙන අය පොහොට්ටුවේ ඉන්නවා. ඒ අය සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතිනවා. ඒක පිළිබඳව ගැටලුවක් නැහැ.
ඒ නිසා, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ රටේ මහජනතාව දන්නවා මේ කට්ටියව එළවලා දැම්මෙත් ඒ නිසා බව. මේ රටට කුඩු ගේන්නේ කවුද කියලා විමර්ශන සිදුවෙමින් පවතිනවා. අපි කියන්නේ සම්පත් මනම්පේරි, කෝට්ටේ පොහොට්ටුවේ හිටපු සංවිධායක, ජොන්ස්ටන් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා, මේ කුඩු ගෙනල්ලා දැන් වරද තමන්ගේ ඇඟට එනකොට අනිත් අය පිට දාන්න උත්සාහ කරනවා. ඒවාට මේ රටේ ජනතාව රැවටෙන්නේ නෑ. කවුරුත් දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන ආශිර්වාදය සහිතව පාතාලය පෝෂණය කරලා, පවත්වාගෙන ගිහින්, රටම විනාශ කළේ කවුද කියලා.
[නාමල් රාජපක්ෂ]:
ඔබතුමාලා පරීක්ෂණ කටයුතු කරන්න. සම්පත් මනම්පේරි චන්දෙ ඉල්ලුවා. අපි, ඔබතුමාලා වගේ, පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච කෙනාව ජාතික ලැයිස්තුවට දාලා හංගන්නේ නෑ. ඔබතුමාලා හොයන්න. ඔහු මේකට සම්බන්ධ නම් ඔහුට උපරිම දඬුවම දෙන්න. හැබැයි මගේ ප්‍රශ්නයට උත්තර දෙන්න: UNODC එකෙන් ගෙනාපු බුද්ධි අංශ වාර්තාවලට ක්‍රියාත්මක නොවුණේ ඇයි?
[ආනන්ද විජේපාල]:
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපිට ආව තොරතුරු අනුව නාකොටික් අංශය පරීක්ෂා කළා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval