supreme-court-agrees-former-presidents-will-only-receive-a-monthly-pension-of-97500-going-forward

 හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බාධාවක් නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින්

ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එනම් 1/2 කින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ වරප්‍රසාද පනත අහෝසි කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් පසුගිය ජූලි මස 31 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. 

මෙම පනත සම්මත වුවහොත්, මෙරට හිටපු රාජ්‍ය නායකයින් පස්දෙනාටම නිල නිවාස, ලේකම් දීමනා, නිල ප්‍රවාහන පහසුකම් ඇතුළු මහජන මුදලින් ලබාදෙන සියලු වරප්‍රසාද අහිමි වනු ඇත. ඔවුන්ට ඉතිරිවන්නේ රුපියල් 97,500ක මාසික විශ්‍රාම වැටුප පමණි. හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවනු ලබන විශ්‍රාම වැටුපද මෙමගින් අහෝසි කෙරේ.

ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ අතර,

ඒ අනුව කැබිනට් මණ්ඩලය ගත් තීරණයකින් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව මෙම වරප්‍රසාද වෙනස් කළ හැකි බවට එම කමිටුවද නිර්දේශ කර තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තියට අනුව මෙම තීන්දුවට එරෙහි ගොනු කර ඇති පෙත්සම් තුනක් සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සහ නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්. එම්. විජේවික්‍රම යන අය විසින් ඉදිරිපත් කර තිබූ අතර ඉදිරියේදී බොහෝ දුරට ඒවා අධිකරණයේදී ප්‍රතික්ෂේප වනු ඇත.