චීනයේ පැවැත්වීමට නියමිත 23 වන ආසියානු කැඩෙට්, කනිෂ්ඨ සහ වයස අවුරුදු 21න් පහළ කරාතේ ශූරතාවලියට සහභාගී වීමට කටුනායක ගුවන් තොටුපළට පැමිණි ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 31 දෙනෙකුට වීසා බලපත්‍ර නොලැබීම නිසා සිය ගම්බිම් බලා ආපසු හැරී යෑමට සිදුවී තිබේ.
මෙම තරගාවලිය සැප්තැම්බර් 05 වන දා සිට 07 වන දා දක්වා චීනයේ, ෂාඕගුආන් හිදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය විසින් ඒ සඳහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන තිබිණි. මාස එකහමාරක පුහුණුවකින් අනතුරුව,
වැඩි වශයෙන් පාසල් සිසුන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම, තරගාවලිය සඳහා පිටත්ව යෑමට පසුගිය 02 වන දා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
ගුවන් ගමන් ප්‍රවේශපත්, චීනයේ නවාතැන්, ප්‍රවාහන සහ අනෙකුත් වියදම් සඳහා එක් ක්‍රීඩකයෙකු රුපියල් පන්ලක්ෂ අසූදහසක පමණ මුදලක් වැයකර තිබූ බව වාර්තා වේ. තම දරුවන්ගේ තරග සිහිනය සැබෑ කරවීම සඳහා බොහෝ දෙමාපියන් ඉඩකඩම් උකස් කරමින් මෙම මුදල් සොයාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය විය.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල්.-880 දරන ගුවන් යානයෙන් පස්වරු 2.00ට චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබූ බැවින්, ක්‍රීඩකයින් දහවල් 11.00 වන විට ගුවන් තොටුපළට පැමිණ සිට ඇත. එහෙත්, ඔවුන්ගේ වීසා බලපත්‍ර සහිත ගමන් බලපත්‍ර රැගෙන පැමිණීමට නියමිතව සිටි කරාතේ සම්මේලනයේ කිසිදු නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ නොතිබිණි. ගුවන් යානය පිටත්ව යන තෙක් බලාපොරොත්තුවෙන් පසුවූ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, අවසානයේ පස්වරු 3.00ට පමණ කිසිවක් කරකියාගත නොහැකිව, දැඩි කලකිරීමකින් යුතුව නැවත නිවෙස් බලා පිටත්ව යෑමට සිදුවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval