priest-arrested-for-growing-cannabis-in-a-flower-pot-at-home

 විහාරස්ථානයක ආවාස ගෙයක් තුළ මල් පෝච්චියක සඟවා ගංජා පැළ වගා කළ හිමිනමක අඹගස්දෝව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අඹගස්දෝව, ගනේතැන්න ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ගංජා පැළ දොළහක් පොලිස් භාරයට ගෙන ඇත.



මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණ හිමිනමක් වන අතර, උන්වහන්සේ අදාළ විහාරස්ථානයේ නේවාසිකව සිටි බව පොලිසිය තහවුරු කර ඇත. ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.



පොලිසිය එම ස්ථානය පරීක්ෂා කිරීමේදී, හිමිනම වැඩසිටි කුටිය තුළ තිබූ මල් පෝච්චියක වගා කර තිබූ, අඟල් හයක් පමණ උසැති ගංජා පැළ තොගය සොයාගෙන ඇත. එම පැළ සමග සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඒ.ආර්.පී. අමරසිංහ සහ සහකාර පොලිස් අධිකාරී (1) උදයකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක එච්.එම්.එල්. අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.