සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නොහොත් නඳුන් චින්තක වික්‍රමරත්නව අධිකරණයට රැගෙන එන අතරතුර ඝාතනය කිරීමේ සැලසුමක් පොලිසිය විසින් ව්‍යර්ථ කර තිබේ. මාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගෙන, කැමරාවක් තුළ සූක්ෂම ලෙස සවි කරන ලද රිවෝල්වරයකින් වෙඩි තැබීමට සූදානම්ව සිටි බව කියන ප්‍රධාන සැකකරු, අදාළ ගිනි අවිය ද සමග දෙල්කඳ ප්‍රදේශයේදී සැප්තැම්බර් 2 වන දා අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සමත් විය.
මෙම ඝාතන සැලසුම මෙහෙයවා ඇත්තේ, දැනට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ උපදෙස් මත බව මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ. පොලිසිය මෙම සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ, ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සමීපතමයෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.
අත්අඩංගුවට පත් 36 හැවිරිදි සැකකරු මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ සේවකයෙකි. ‘බැකෝ සමන්’ගේ පාසල් මිතුරෙකු වන ඔහු, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ද සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් මිලිග්‍රෑම් 20ක් ඔහු සතුව තිබී ඇත. මුලදී ඝාතන සැලසුමට සිය සම්බන්ධය ප්‍රතික්ෂේප කළ ද, දීර්ඝ විමර්ශන හමුවේ ඔහු සියලු තොරතුරු පාපොච්චාරණය කර තිබේ.
මෙම ඝාතනය සඳහා යොදා ගැනීමට නියමිතව තිබූ ගිනි අවිය පිළිබඳව සැකකරු විසින් හෙළිදරව් කර ඇත. ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ තවත් සගයෙකු වන ‘පස් දේවා’ නැමැත්තා අන්තර්ජාලය ඔස්සේ නිරීක්ෂණය කර ඇති ආකාරයට, කුරුණෑගලින් මිලදී ගත් කැමරාවකට රිවෝල්වරයක් සවි කර තිබේ. ‘බැකෝ සමන්’ විසින් ලබාදුන් රිවෝල්වරයේ මිට ඉවත් කර, එහි කොකා නූලක් ආධාරයෙන් ක්‍රියාත්මක කළ හැකි වන පරිදි සූක්ෂම ලෙස කැමරා බඳ තුළ සවිකර තිබූ බව සැකකරුගේ පාපොච්චාරණයෙන් අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, මෙම මෙහෙයුම ක්‍රියාවට නැංවීමට බියක් ඇතිවීම නිසා සැකකරු මීට දින දෙකකට පෙර එම කැමරා ගිනි අවිය ගලවා, ව්‍යාජ මාධ්‍ය හැඳුනුම්පතක් ද සමගින් පුළුස්සා විනාශ කර ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, එම ද්‍රව්‍ය පිළිස්සූ ස්ථානය ඔහු විසින් විමර්ශන නිලධාරීන්ට පෙන්වා ඇති අතර, එහි තිබී පිළිස්සුණු කොටස් සහ ඝාතනයට යොදා ගැනීමට තිබූ රිවෝල්වරය පොලිස් භාරයට ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval