මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගය තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (04) නියෝග කළේය. බීමත්ව රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබිණි.
තමන්ට එරෙහි නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලා රවි සෙනෙවිරත්න මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.
මායා දුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කියා සිටියේ, 2023 ඔක්තෝබර් මාසයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය විසින් තම සේවාදායකයාට එරෙහිව මෙම නඩුව ගොනු කළ බවයි. බීමත්ව රිය පැදවීමේ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා උපදෙස් දී ඇතත්,
එවැනි උපදෙසක් අධිකරණයට ලැබී නොමැති බව පවසමින් මහේස්ත්‍රාත්වරිය විසින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
මෙම ක්‍රියාව හේතුවෙන් තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි බවත්, එබැවින් නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙසත් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේය.
අභියාචනාධිකරණය විසින් මෙම පෙත්සම විභාග කිරීමට තීරණය කර ඇති අතර, වැල්ලවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොවැම්බර් 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලදී. කිසියම් විරෝධතා ඇත්නම්, ලබන 23 වැනිදා ඒවා ගොනු කරන ලෙසද අධිකරණය නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval