macron-who-was-in-the-us-for-the-un-meeting-got-stuck-in-traffic-and-called-trump-from-the-road
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ බලවත් සාමාජිකයෙකු වන ප්‍රංශයේ ජනාධිපතිවරයාට, එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී අපහසුතාවයකට මුහුණ දීමට සිදු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රථ පෙළ හේතුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ගමන් ගත් රථයට මාර්ගය අවහිර වීමත් සමගය. මෙම සිදුවීමත් සමග ප්‍රංශ ජනාධිපතිවරයාට සිය ආරක්ෂකයන් පිරිවරාගෙන පයින්ම සිය ගමනාන්තය වෙත යාමට සිදු විය.

එක්සත් ජාතීන්ගේ 80 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ප්‍රංශ ජනාධිපතිවරයා, සිය දේශනයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටතට පැමිණෙද්දී මෙම සිදුවීමට මුහුණ දී තිබේ. ඒ මොහොතේ එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රථ පෙළට ඉඩ දීම සඳහාය.

එහිදී නිව්යෝර්ක් පොලිස් නිලධාරියෙකු ප්‍රංශ ජනාධිපතිවරයාට තත්ත්වය පැහැදිලි කරමින්, "ජනාධිපතිතුමනි, කණගාටුයි, මේ මොහොතේ සියල්ල නවත්වා ඇත," යනුවෙන් පවසා සිටියේය.

මෙම අවස්ථාවේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, සිනහමුසු මුහුණින් යුතුව ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දුරකථන ඇමතුමක් ගෙන, "හිතන්නකො, මම දැන් ඉන්නෙ පාරේ. ඒ ඔබ වෙනුවෙන් හැමදේම නවත්වලා තියෙන නිසා," යැයි විහිළුවෙන් පවසා තිබේ. කෙසේ වෙතත්, මිනිත්තු කිහිපයක් බලා සිටීමෙන් අනතුරුව ද මාර්ගය විවෘත නොවීම හේතුවෙන්, අවසානයේදී පදිකයන් සඳහා මාර්ගය විවෘත කළ විට, ඔහු සිය ගමනාන්තය වෙත පයින්ම ගමන් කළේය.

මෙම සිදුවීම දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිර ගිය අතර, එයට විවිධ ප්‍රතිචාර හිමිවී තිබිණි. සමහර පරිශීලකයන් මෙය ඇමරිකාවේ බලය ප්‍රදර්ශනය කිරීමක් ලෙස හැඳින්වූ අතර, තවත් සමහරුන් මෙය ප්‍රංශ ජනාධිපතිවරයාට සිදු වූ අපහසුතාවයක් සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අත්වැරදීමක් ලෙසද අර්ථකථනය කර තිබුණි.

gossiplanka image 1


gossiplanka image 2