information-about-the-murder-of-kajja-and-how-ishara-was-forced-to-come-to-sri-lanka-after-her-mothers-death-information-revealed

 ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන පාතාල සාමාජිකයන් වන ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ලහිරු’ විසින් දකුණු පළාතේ සිදු වූ මිනිස් ඝාතන කිහිපයකටම අදාළ තොරතුරු රැසක් හෙළිදරව් කර ඇත. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන මෙම ප්‍රශ්න කිරීම් හමුවේ එම ඝාතන මෙහෙයවා ඇත්තේ ඔවුන්ගේ මැදිහත්වීමෙන් බවට අනාවරණය වී තිබේ.



පසුගිය පෙබරවාරි 19 වන දින මිද්දෙණිය ප්‍රදේශයේදී අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ නැමැත්තා සහ ඔහුගේ සය හැවිරිදි දියණිය සහ නව හැවිරිදි පුත්‍රයා ඝාතනය කිරීමේ සිදුවීම ඒ අතර ප්‍රධාන වේ.

‘බැකෝ සමන්’ට අයත් රුපියල් කෝටි 35ක් වටිනා හෙරොයින් තොගයක් පිළිබඳව පොලිසියට ඔත්තු දීම මෙම ත්‍රිත්ව ඝාතනයට හේතු වී ඇති බවට සැක කෙරේ. ‘කජ්ජා’ ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් ඔහු සමග යතුරුපැදියේ ගමන් කළ දරු දෙදෙනා ද මියගොස් තිබිණි.

ඊට අමතරව, මිද්දෙණිය, තෝරයාය කැලෑබද ප්‍රදේශයකදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් ද මොවුන් විසින් මෙහෙයවා ඇති බව හෙළිවී ඇත. මැලේසියාවේ සැඟවී සිටින ‘දරුන්’ නැමැති පාතාල සාමාජිකයා විසින් ලබාදුන් එම කොන්ත්‍රාත්තුව, ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ලහිරු’ විසින් දකුණේ වෙඩික්කරුවෙකුට ලබා දී තිබේ. ගංජා තොගයක් ලබාගෙන ඒ සඳහා මුදල් නොගෙවීමක් මෙම ද්විත්ව ඝාතනයට හේතුව බව පොලිසිය පවසන අතර, වෙඩික්කරු සහ ඔහුට සහය වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන ක්‍රියාත්මකය.



මේ අතර, ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී, අලුත්කඩේ මහාධිකරණයේදී ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනය කිරීමට ‘කමාන්ඩෝ සලින්ත’ නැමැත්තා යෙදවූ බව කියන ‘ඉෂාරා සෙව්වන්දි’ නැමැත්තිය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත. ඇය මේ වන විට ඩුබායි රාජ්‍යයට පැන ගොස් සැඟවී සිටින බවට තහවුරු වී ඇති අතර, ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට නියමිතය.

සිය මව රෝගාතුරව මියගිය අවස්ථාවේදී, අවසන් ගෞරව දැක්වීම සඳහා වෙස්වලාගෙන මෙරටට පැමිණීමට ඉෂාරා සෙව්වන්දි උත්සාහ කර ඇති බව ද ‘කෙහෙල්බද්දර පද්මේ’ හෙළිකර තිබේ. එහෙත්, අවමංගල්‍යය අවට බුද්ධි අංශ නිලධාරීන්ගේ දැඩි සෝදිසියක් පවතින බැවින් එම ගමන අවදානම් බව පවසා පද්මේ විසින් ඇයගේ පැමිණීම වළක්වා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.