india-wins-the-indo-pakistan-match-that-started-without-a-handshake

 2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටය යටතේ පකිස්ථානයට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඩුබායිහිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයාගේ තීරණය වූයේ පළමුවෙන් පන්දු යැවීමයි. දෙරට අතර ක්‍රීඩාශීලීත්වය පිළිබඳ ගැටලු මතු කරමින් මෙම තරගයේදී ද කණ්ඩායම් දෙකේ නායකයින් අතර අතට අත දීමක් සිදු නොවීම විශේෂත්වයකි.





පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි පකිස්ථානු ඉනිම වෙනුවෙන් සහීබ්සාඩා ෆර්හාන් සහ ෆකර් සමාන් ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළේය. නමුත් එම සබඳතාව ලකුණු 21කට සීමා වූ අතර, ෆකර් සමාන් ලකුණු 15ක් ලබා සිටියදී දැවී ගියේය. දෙවැනි කඩුල්ල සඳහා පිටියේ එක් වූ සහීබ්සාඩා ෆර්හාන් සහ සයීම් අයුබ් පන්දු 49කදී ලකුණු 72ක සබඳතාවක් ගොඩනගමින් පකිස්ථානු ඉනිම ශක්තිමත් කළේය. පන්දු 45කට මුහුණ දුන් සහීබ්සාඩා ෆර්හාන් හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 58ක් රැස් කළේය. නියමිත පන්දුවාර 20 අවසානයේ පකිස්ථානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තේය.

ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අභිෂේක් ශර්මා සහ ශුබ්මන් ගිල් සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 105ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගූ අතර, ශුබ්මන් ගිල් ලකුණු 47කට දැවී ගියේය. වේගවත් පිතිහරඹයක නිරත වූ අභිෂේක් ෂර්මා පන්දු 39කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 74ක් රැස් කරමින් ඉන්දීය ජයග්‍රහණය පහසු කළේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

gossiplanka image 1


gossiplanka image 2