driver-who-broke-traffic-rules-and-made-the-police-pay-2000-rupees-in-shit-to-court

 රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට රුපියල් දෙදහසක අල්ලසක් ලබා දීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් මැල්සිරිපුර පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද රියදුරෙකු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහෙස්ත්‍රාත් ජයලත් මහතා නියෝග කළේය.



මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, අල්ලස් පනත යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට කිසිදු නෛතික බලයක් නොමැති බවට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා මතු කරන ලද මූලික විරෝධතාවක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය. මෙලෙස නිදහස ලැබුවේ කුරුණෑගල, සක්‍යා පාරේ පදිංචි බායි රායිස් නම් රියදුරෙකි.



මැල්සිරිපුර පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සැකකාර රියදුරු රථවාහන වරදක් සිදුකර එයින් ගැලවීම සඳහා පොලිස් නිලධාරීන්ට රුපියල් දෙදහසක මුදලක් ලබා දීමට උත්සාහ කළ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බැවින් සහ සැකකරු අල්ලස් පනත යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා පෙන්වා දුන්නේ, අල්ලස් පනතේ 78 වන වගන්තියට අනුව අල්ලස් ගැනීම හෝ දීමට තැත් කිරීම සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරීමේ පූර්ණ බලය ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පමණක් බවයි.

තවදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා, සිය සේවාදායකයා සියලු බලපත්‍ර සහිතව මාර්ග නීතිවලට අනුකූලව රිය පදවා ඇති බවත්, පොලිස් නිලධාරීන් සමග ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පලිගැනීමේ චේතනාවෙන් මෙම අභූත චෝදනාව ගොනුකර අත්අඩංගුවට ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

පොලිසිය විසින් සැකකරු අල්ලස් පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීම මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බැවින් ඔහුව නිදහස් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, පොලිසියට අල්ලස් පනත යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලයක් නොමැති බවට ඉදිරිපත් වූ නීතිමය තර්කය පිළිගනිමින් සැකකාර රියදුරුව ඔහුට එරෙහිව පැවති නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.