double-cabs-required-for-government-work-will-be-purchased-before-the-end-of-this-month

 විශේෂයෙන්ම රජයේ සංවර්ධන වැඩපිළිවෙල කඩිනම් කිරීමේ අරමුණින් නව කැබ් රථ රථ පෙළක් මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.



නව වාහන නිලධාරීන්ගේ පෞද්ගලික නිල රථ ලෙස භාවිත නොකළ යුතු බවටත් ඒවා සඳහා ඉන්ධන දීමනා ලබා නොදෙන ලෙසත් මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.

එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම මහතා විසිනි.

කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, වනජීවී, වන සංරක්ෂණ සහ ප්‍රාදේශීය පරිපාලනය වැනි අංශවල ගැටලු කඩිනමින් නිරාකරණය කර ගත යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය තරම් වාහන නොමැති වීම මෙන්ම පැරණි වාහන නඩත්තු කිරීමේ අධික පිරිවැය සංවර්ධන කටයුතු සඳහා බාධාවක්ව පවතින බවත් එම චක්‍රලේඛයේ දැක්වේ.

මේ අතර රජයේ ආයතන සඳහා අවශ්‍ය වාහන සහ යන්ත්‍රෝපකරණ කඩිනමින් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත්,

ඒ අනුව 2025 වසර සඳහා අවශ්‍ය මුළු වාහන ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් කඩිනමින් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම මාසය අවසන් වීමට පෙර අවශ්‍ය වන ද්විත්ව කැබ් රථ සංඛ්‍යාව ඉදිරිපත් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. මේ සඳහා වන ඉල්ලීම්, අදාළ වාහන අවශ්‍ය වීමට හේතු, ආයතනයේ දැනට පවතින වාහන සංඛ්‍යාව සහ ඒවායේ තත්ත්වය මෙන්ම පසුගිය වසර තුනක කාලය තුළ එම වාහන සඳහා වැය වූ නඩත්තු වියදම් වැනි කරුණු පදනම් කර ගනිමින් අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් සමාලෝචනය කළ යුතු බවද එහි සඳහන් වේ.