gossiplanka image 1

 රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අද (12) ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.



2020 මහ මැතිවරණයෙන් පසු අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලිපියකට අත්සන් ලබා ගත් බවට රතන හිමියන්ට චෝදනා එල්ල වී තිබිණි. එම චෝදනාවට අදාළ විමර්ශන මඟහැර සිටීම හේතුවෙන් පසුගිය අගෝස්තු 18 වන දින අධිකරණය විසින් උන්වහන්සේට වරෙන්තු නිකුත් කර තිබූ අතර,

ඒ අනුව සැප්තැම්බර් 9 වන දින උන්වහන්සේ අධිකරණයට භාර විය. නඩුව තවදුරටත් පවතින බව සඳහන් වේ.

මේ අතර, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය. පෙත්සම සලකා බැලීම ලබන 17 වන දිනට කල් තබා ඇත.

තවත් පුවතක් ලෙස, දූෂණ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින

හිටපු රාජ්‍ය අමාත්‍ය සශින්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මහවැලි ඉඩමක ඉදිකර තිබූ තම දේශපාලන කාර්යාලය අරගලකරුවන් විසින් ගිනි තැබීමෙන් පසු, නීතියට පටහැනිව රුපියල් 8,850,000ක මුදලක් වන්දි ලෙස ලබා ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ "දූෂණය" නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි.