73-sri-lankans-who-went-to-lumbini-return-safely-to-india

 නේපාලයේ ලුම්බිණිය වෙත ගිය ශ්‍රී ලාංකිකයන් 73 දෙනෙකු පිරිසක් නැවත ඉන්දියාවට ආරක්ෂිතව පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. නේපාලයේ ආගමන විගමන පද්ධතිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙම පිරිසට නැවත ඉන්දියාවට ඇතුළු වීමට අපහසු තත්ත්වයක් ඇති වී තිබී ඇත.

එහෙත්, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට ආගමන විගමන නිලධාරීන් සමඟ සෘජුව සම්බන්ධ වී අවශ්‍ය කටයුතු සූදානම් කිරීමෙන් පසු

ඔවුන් සියලු දෙනාටම දේශසීමාව හරහා නැවත ඉන්දියාවට ඇතුළු වීමට හැකි වී තිබේ.

මේ අතර, නේපාලයේ දැනට පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා එරට හමුදාවට භාර දී ඇති බවත්, එරට වැසියන්ට නිවෙස්වලට වී සිටින ලෙස හමුදාව දැනටමත් දැනුම් දී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. නේපාලයේ සිටින සියලුම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට ද එරට බලධාරීන් විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

නේපාලයේ ශ්‍රී ලාංකිකයන් 102 දෙනෙකු සිටින බවට නවතම තොරතුරු වාර්තා වන අතර, ඔවුන් සියලු දෙනා ආරක්ෂිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම සියලු දෙනා සමඟ අඛණ්ඩව සම්බන්ධතා පවත්වන බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.