a-vehicle-belonging-to-sampath-manamperi-has-been-stolen-and-abandoned

 අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි, පසුගිය පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවට තරග කළ සම්පත් මනම්පේරි නමැත්තාට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් ඇඹිලිපිටිය පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම වාහනය ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගරාජයක දමා ගොස් තිබියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත සොයා ගෙන ඇත.





ගරාජයේ හිමිකරු නොමැති අවස්ථාවක, අලුත්වැඩියා කටයුත්තක් සඳහා යැයි පවසමින් පසුගිය 7 වැනිදා පුද්ගලයෙකු විසින් මෙම මෝටර් රථය ගරාජයට භාර දී ඇත. පසුව එම පුද්ගලයාගේ දුරකථන අංක ක්‍රියා විරහිතව තිබීම හේතුවෙන් ගරාජ් හිමියාට සැක සිතී ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.

පොලීසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම මෝටර් රථයේ හිමිකරු වන්නේ, මිද්දෙණිය ප්‍රදේශයේ වළ දමා තිබූ රසායනික ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සම්පත් මනම්පේරි නමැති දේශපාලනඥයා බවය.



මෝටර් රථයේ කිසිදු කාර්මික දෝෂයක් නොතිබූ බවත්, ඒ පිළිබඳව සැක සිතූ ගරාජ් හිමියා පොලීසියට ප්‍රකාශයක් දීම හේතුවෙන් වාහනය සොයා ගැනීමට හැකි වූ බවත් පොලීසිය පවසයි. පසුව, මෙම මෝටර් රථය ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය වෙත රැගෙනවිත් තිබේ.

අදාළ සැකකරු මෝටර් රථය ගරාජයේ දමා වෙනත් ප්‍රදේශයකට පලා ගියාද, එසේ නොමැති නම් ඇඹිලිපිටිය ප්‍රදේශයේම රහසිගත ස්ථානයක රැඳී සිටීද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය සඳහන් කරයි. මෙම වාහනය සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ කටයුතු සිදු කිරීමට නියමිත අතර, ඇඹිලිපිටිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.