
එක්ස් කිරණ පරීක්ෂණයක් සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට පැමිණි තරුණියකට ලිංගික අතවර කළ බව කියන රෝහල් සේවකයෙකු සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ තරුණිය පරීක්ෂණය සඳහා ට්‍රොලියක රඳවා සිටියදී ඇයගේ පපුව ස්පර්ශ කරමින් මෙම අතවරය සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ රෝහලේ තාවකාලික පදනම මත සෞඛ්‍ය සහායක තනතුරේ සේවය කරන අයෙකුට බව පොලිසිය පවසයි. මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා වෙත ලද දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන රෝහලෙන් පිටතට රැගෙන ඒමට උත්සාහ දැරීමේදී රෝහලේ වෙනත් සේවක පිරිසක් විසින් ඊට විරෝධය පළ කර තිබේ.
එම අවස්ථාවේදී රෝහල් කටයුතුවලට බාධා එල්ලවීම සහ සාමය කඩවීම වැළැක්වීමේ අරමුණින් පොලිසිය එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත් වූ බව වාර්තා වේ.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි සහ අනෙකුත් තොරතුරු පදනම් කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.
කළුතර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී මහත්මියගේ සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් මත, කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා රේණුකා හේමමාලී මහත්මිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval