47-children-in-prison-with-their-mothers

 බන්ධනාගාරගත කරනු ලැබූ මව්වරුන් සමග කුඩා දරුවන් 47 දෙනෙකු මෙම වසරේ ගතවූ මාස නවයක කාලය තුළ බන්ධනාගාර තුළ රැඳී සිටින බව බන්ධනාගාර මූලස්ථානය විසින් අනාවරණය කර ඇත. එම දරුවන් අතර පිරිමි දරුවන් 20 දෙනෙකු සහ ගැහැනු දරුවන් 27 දෙනෙකු වන බවද එම වාර්තා පෙන්වා දෙයි.



මෙම වසරේ ජනවාරි මස පළමු වනදා සිට සැප්තැම්බර් 27 වනදා දක්වා කාලසීමාව තුළ කාන්තාවන් 1,483 දෙනෙකු විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර ඇති අතර,

ඔවුන්ගෙන් 229 දෙනෙකු අධිකරණය මගින් වරදකරුවන් වූවන් වේ. මෙම වසරේ මුල් මාස හතක කාලය තුළ පමණක් මත්ද්‍රව්‍ය වැරදි සඳහා සිරදඬුවම් ලැබූ කාන්තාවන් සංඛ්‍යාව 184කි. ඒ අතරින් හෙරොයින් සම්බන්ධයෙන් 97 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 75 දෙනෙකු සහ ගංජා සම්බන්ධයෙන් 8 දෙනෙකු ඇතුළු පිරිසක් වෙති.

පසුගිය 2024 වර්ෂය හා සැසඳීමේදී කාන්තා සිරකරුවන්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන අතර, එම වසරේ විවිධ වැරදි සඳහා සිරගත කළ මුළු කාන්තා සංඛ්‍යාව 885ක් විය. ඔවුන්ගෙන් 369 දෙනෙකුම මත්ද්‍රව්‍ය වැරදි සඳහා දඬුවම් ලැබූවන් වන අතර, හෙරොයින් චෝදනාවලට 199ක් සහ අයිස් මත්ද්‍රව්‍ය චෝදනාවලට 138 දෙනෙකු ඒ අතර විය. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ සිදුකළ ඉල්ලීමකට අනුව මෙම සංඛ්‍යාලේඛන අනාවරණය වී තිබේ.

පසුගිය වසරේ සිරගත කෙරුණු කාන්තාවන් අතරින් විවාහක කාන්තාවන් 655 දෙනෙකු සිට ඇති අතර,

ඔවුන්ගෙන් 278 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට වරදකාරියන් වී ඇත. ඊට අමතරව, අවිවාහක කාන්තාවන් 98 දෙනෙකු බන්ධනාගාර ගත කර ඇති අතර, ඉන් 65 දෙනෙකුම මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධ වූවන් වීම විශේෂත්වයකි.

මේ අතර, එක් සිරකරුවෙකු නඩත්තු කිරීම සඳහා රජය දරන වියදම පිළිබඳවද තොරතුරු හෙළිදරව් වී ඇත. පසුගිය වසරේ දත්තවලට අනුව, එක් සිරකරුවෙකු සඳහා දිනකට රුපියල් 1,411ක් පමණ වැය කර ඇති අතර, වාර්ෂික වියදම රුපියල් 516,352ක් ලෙස ගණන් බලා තිබේ. එම වියදමෙන් දිනක ආහාර වේලක් සඳහා රුපියල් 697ක් ද, වසරක ආහාර සඳහා රුපියල් 255,174ක් ද රජය විසින් වැය කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.