yesterdays-peliyagoda-murder-was-the-result-of-a-conflict-between-the-pukudi-kanna-and-palani-emotion-underworlds

 පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී ඊයේ (19) පෙරවරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි තැබීමෙන් එම ස්ථානයේ ගමන් කරමින් සිටි තවත් අයෙකුද තුවාල ලබා ඇත.





මෙලෙස මියගොස් ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැලක සේවය කළ, කොළඹ 15, අලුත් මාවත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අප්පන් ප්‍රභූ නැමැත්තෙකි. වෙඩි ප්‍රහාරයෙන් උදර ප්‍රදේශයට බරපතල තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය තහවුරු කළේය.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර පළාගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඉන් එක් වෙඩිල්ලක් මියගිය පුද්ගලයාට වැදී ඇති අතර, අනෙක් වෙඩිල්ල එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කළ පාපැදිකරුවෙකුගේ පාදයකට වැදී ඇත. සිද්ධිය වන අවස්ථාවේ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබූ බවද වාර්තා වේ.

මියගිය පුද්ගලයා, විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'පූකුඩි කන්නා' නැමැත්තාගේ සමීපතමයෙකු බවට පොලිසිය හඳුනාගෙන ඇත.

ඔහු 2022 වසරේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීමේ චෝදනාව මත මීට පෙර බන්ධනාගාරගතව සිටි අයෙකි.

'පූකුඩි කන්නා' සහ 'පලනි ඉමෝෂන්' නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි දෙක අතර පවතින ආරවුලක් මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. පෑලියගොඩ මූලස්ථාන පොලිසිය සහ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.