
ලොව ප්‍රමුඛතම චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවක් වන ස්ටාර්ලින්ක් (Starlink) සඳහා අවශ්‍ය උපකරණ ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ නිල නියෝජිතයා ලෙස සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම පත් කර තිබේ. මෙම නව පත්කිරීමත් සමඟ ස්පේස්එක්ස් (SpaceX) සමාගමට අයත් ස්ටාර්ලින්ක් සේවාව මෙරට පාරිභෝගිකයින් වෙත ගෙන ඒමේ ප්‍රධානතම දේශීය හවුල්කරුවා ලෙස සිංගර් සමාගම කටයුතු කරනු ඇත.
මෙම පත්කිරීම පිළිබඳව සිංගර් ශ්‍රී ලංකා සහ ස්ටාර්ලින්ක් ශ්‍රී ලංකා යන ආයතන දෙකෙහිම නිල ෆේස්බුක් පිටු ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.
හේලීස් පීඑල්සී සමාගමේ සහ ප්‍රකට ව්‍යවසායක ධම්මික පෙරේරා මහතාගේ සහයෝගය ලබන සිංගර් සමාගම, මෙම නව හවුල්කාරිත්වය හරහා රටේ ඉතාමත් දුෂ්කර හා දුර බැහැර ප්‍රදේශවලට පවා අධිවේගී අන්තර්ජාල සබඳතාවක් ලබා දීමට අපේක්ෂා කරයි.
ඇමරිකානු ධනපතියාගේ හිමිකාරත්වය සහිත ස්ටාර්ලින්ක් සේවාවන් පසුගිය ජූලි මස ආරම්භයේ සිට ශ්‍රී ලංකාවට සක්‍රීය කළ මුත් නියෝජිත ආයතනයක් හෝ කාර්යාලයක් නොමැතිවීම නිසා බෙදාහැරීම විධිමත්ව සිදුවූයේ නැත. පෙර ඇණවුම් කළ කොටසකට පසුව නිවේදනය කළේ උපාංග ලබාදීම කල් යන බවටය.
මේ අතර ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සපයන ඇතැම් ආයතන මෙම ආගමනය නිසා අභියෝගයකට මුහුණ දී තිබේ.
එස්එල්ටී-මොබිටෙල් සමාගමේ ෆයිබර් සබඳතා සඳහා අන්ලිමිටඩ් පැකේජ අලුතින් හඳුන්වාදීම සිදුවූයේද මෙම තරගකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙසය.
මේ අතර තරගකාරී සමාගම් මගින් යූටියුබ්හි තාක්ෂණික විවරණ සපයන නාලිකාවන්ට මුදල්ගෙවා ස්ටාර්ලින්ක් 'නූගුණ පැතිරවීමේ' වෙළෙඳ උපායමාර්ගයක්ද පසුගිය දිනවල ක්‍රියාත්මක වූ අතර ඒ ගැන සමාජ මාධ්‍ය තුළ දැඩි දෝෂාරෝපණ එල්ල විය.
ස්ටාර්ලින්ක් අවම පැකේජය සියලු බදු සහිතව රු 9200 ක අවම මිලකට නියම කර ඇති අතර රු118000 ක පමණ අමතර ගාස්තුවක් උපාංගය සඳහා එක්වරක් ගෙවිය යුතුවේ. අනෙක් තරගකාරී අන්තර්ජාල සබඳතා 'අන් ලිමිටඩ්' මුවාවෙන් ලබාදෙන පැකේජ එක්තරා පරිභෝජන මට්ටමකින් පසු වේගය අඩුකරන නමුත් ස්ටාර්ලින්ක් එසේ කරන්නේ නැතිවීම ඔවුනගේ වෙළෙඳ වාසියට හේතුවී තිබේ.
ශ්‍රී ලංකාවට ස්ටාර්ලින්ක් ඔස්සේ අන්තර්ජාල දත්ත ලෙස ලැබෙන්නේ වියට්නාමයේ පිහිටි ස්ටාර්ලින්ක් මධ්‍යස්ථානයෙන් උඩුගත කරන ආසියානු කලාපයට අවශ්‍ය දත්තයි.
පසුගිය සතියේ ඉන්දියාවේද ස්ටාර්ලින්ක් අනුමතවූ අතර එය තවදුරටත් ව්‍යාප්ත කිරීමට සමාගම අපේක්ෂා කරන බව දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval