sri-lankan-arrested-on-suspicion-of-murder-of-nirodha-niwunhella-in-britain

බ්‍රිතාන්‍යයේ වේල්ස් ප්‍රාන්තයේ කාඩිෆ් නුවරදී ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාව මත 37 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ නිරෝධා කල්පනී නිවුන්හැල්ල නම්, 32 හැවිරිදි කාන්තාවකි.



පසුගිය අගෝස්තු 21 වන බ්‍රහස්පතින්දා උදෑසන 7:37 ට පමණ කාඩිෆ් නගරයේ, රිවර්සයිඩ් ප්‍රදේශයට අයත් සවුත් මෝගන් ප්ලේස් හිදී බරපතල තුවාල ලබා සිටියදී ඇයව සොයා ගැනීමෙන් පසු හදිසි සේවා ඒකක එම ස්ථානයට කැඳවා ඇත. කෙසේ වෙතත්, වෛද්‍ය කණ්ඩායම් දැඩි උත්සාහයක් දැරුවද, ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ අතර, එම ස්ථානයේදීම ඇය මියගිය බව පොලීසිය තහවුරු කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ පෙන්ට්වින් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිසර වීරගලගේ නැමැත්තාටය. මොහු මියගිය නිරෝධා හා සමීපව ඇසුරු කළ අයෙකු බවට වාර්තා වන අතර ඔහු ඝාතනයට සැකකරන නමුත් හේතුවක් තවම අනාවරණය නොවේ.



සිද්ධියෙන් අනතුරුව ස්ප්ලොට් ප්‍රදේශයේ සීවෝල් මාවතේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මිනීමැරුම් චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ ඔහු අද (23) දින කාඩිෆ් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මියගිය නිරෝධා අවිවාහකව සිටි අතර සිය දියණියගේ අකල් වියෝවෙන් කම්පනයට පත් නිරෝධාගේ පවුලේ සාමාජිකයින් නිවේදනයක් නිකුත් කරමින්, ඇයව ගෞරවනීය දියණියක, පවුලේ සාමාජිකාවක් සහ බොහෝ දෙනෙකුට ආදරණීය මිතුරියක ලෙස සිහිපත් කරන බව සඳහන් කර ඇත. ඇයගේ කරුණාවන්ත බව සහ උණුසුම් හදවත බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ආලෝකයක් වූ බවත්, එම මතකය සදාකල්හිම ඔවුන්ගේ සිත් තුළ ජීවත් වනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර, ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක මැතිව් ඩේවිස් මහතා, නිරෝධාගේ පවුලේ සාමාජිකයින්ට සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇති අතර, නිලධාරීන් ඔවුන්ට අවශ්‍ය සහය ලබා දෙන බවට සහතික වී තිබේ. මෙම සිද්ධිය පිළිබඳව මෙතෙක් පොලීසියට වාර්තා නොකළ යම් තොරතුරක් දන්නා අයෙක් වෙතොත් වහාම ඉදිරිපත් වී විමර්ශන සඳහා සහය වන ලෙස වේල්ස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

විශේෂයෙන්ම, අගෝස්තු 21 වන දින උදෑසන 7:30 ත් 8:30 ත් අතර කාලය තුළ සවුත් මෝගන් ප්ලේස්, සීවෝල් මාවත, වෙලින්ටන් වීදිය, ක්ලෙයාර් පාර හෝ පෙනාර්ත් පාර යන ප්‍රදේශ ආශ්‍රිතව ගමන් ගත් අළු පැහැති ෆෝඩ් ෆියෙස්ටා වර්ගයේ මෝටර් රථයක් පිළිබඳව හෝ අදාළ ප්‍රදේශවල සීසීටීවී හෝ ඩෑෂ් කැමරා දර්ශන ඇත්නම් පොලීසියට ලබා දෙන ලෙස විමර්ශන කණ්ඩායම් වැඩිදුරටත් ඉල්ලා ඇති අතර සිදුවීම ගැන වැඩිදුර පරීක්ෂණ සිදුවේ.

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5
gossiplanka image 6