සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ හිදී පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 07ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් පන්දු වාරයේදී ඩිල්ෂාන් මධුශංක විසින් දියත් කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් පරාජය අභියස සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තීරණාත්මක ජයග්‍රහණය හිමි විය.
කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 298ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ පැතුම් නිස්සංක ලකුණු 76ක් ලබාගත් අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 38ක් රැස් කරමින් ඔහුට අනගි සහයක් ලබා දුන්නේය.
ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ජනිත් ලියනගේ පන්දු 47කදී නොදැවී ලකුණු 70ක් සහ කමිඳු මෙන්ඩිස් පන්දු 36කදී ලකුණු 57ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් වූහ.
ලකුණු 299ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු නොලබාම දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුවද, බෙන් කරන් (ලකුණු 70) සහ ෂෝන් විලියම්ස් (ලකුණු 57) සිම්බාබ්වේ ඉනිමට සවිමත් අඩිතාලමක් දැමූහ. කෙසේ වෙතත්, සිකන්දර් රාසා පන්දු 87කදී ලකුණු 92ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය අසලටම ගෙන ඒමට සමත් විය.
තරගයේ අවසන් පන්දු වාරයේදී සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 10ක් අවශ්‍යව තිබූ අතර ඔවුන් අත කඩුලු 5ක් ද ඉතිරිව තිබිණි. නමුත් එම පන්දු වාරය ක්‍රියාත්මක කළ ඩිල්ෂාන් මධුශංක, පළමු පන්දු තුනේදී පිළිවෙළින් සිකන්දර් රාසා, බ්‍රැඩ් එවන්ස් සහ රිචඩ් නගරාවා දවා ගනිමින් තම එක්දින දිවියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරමින් ශ්‍රී ලංකාවට උද්වේගකර ජයක් තහවුරු කළේය. සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 291ක් පමණි. තරගයේ වීරයා ලෙස ඩිල්ෂාන් මධුශංක සම්මාන දිනා ගත්තේය.

Comments
Post a Comment
Your comment will be visible after approval