
දූෂණ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය. රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට මෙහිදී නියම විය. තවද, සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවූ මහේස්ත්‍රාත්වරිය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසට ද නියෝගයක් නිකුත් කළාය.
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ට සහන මිලට ලබාදීම සඳහා රුපියල් මිලියන 25ක් වැයකර ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ තොගයක්, එම වසරේ පැවති ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි තකා තම ආධාරකරුවන්ට බෙදාදීමෙන් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව චෝදනා ගොනු කර තිබිණි.
නඩුව කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති නමුත්, තවත් කෘෂිකර්ම නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල මහතා, සිය සේවාදායකයා විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදුන් බවත්, ඔහු විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවත් පෙන්වා දෙමින් සුදුසු ඇප කොන්දේසි මත ඔහුව මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval